වසර 14ක් හිමිකම් නොකියූ සිරුරු 135ක් අධ්‍යයන කටයුතු වෙනුවෙන් වෛද්‍ය සිසුන්ට

ගාල්ල කරාපිටිය රුහුණු වෛද්‍ය පීඨයේ තබා ඇති සංරක්ෂණය කරන ලද සිරුරු වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ලබා දීමට අද (26) තීරණය කර තිබෙනවා. 

ඒ අනුව මීට වසර 14 කට පෙර සුනාමියෙන් මියගිය මිනිසුන්ගේ සංරක්ෂණය කරන ලද මෙම සිරුරු මෙතෙක් කිසිවෙකු හඳුනා ගෙන නොමැති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි කරාපිටිය වෛද්‍ය පීඨයේ, අධිකරණ වෛද්‍ය අංශ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය නිලධාරී යූ.සී.පී.පෙරේරා පැවසුවේ. 

අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙතෙක් අයිතිකරුවන් විසින් හඳුනා නොගත් සිරුරු 135කට වැඩි කොටස් රුහුණු වෛද්‍ය පීඨයේ ආරක්ෂිතව තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

හිමිකරුවන් කිසිවෙක් මෙම සිරුරු කොටස්වලට හිමිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මින් ඉදිරියට වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන සඳහා ඒවා ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. 

සිරුරු සමූහ වශයෙන් මිහිදන් කර ඇති ස්ථාන රැක ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.