ලබන සතියේ දී විපක්ෂ නායක කාර්යාලය මහින්ද අතට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුළුල් පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා බවට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පත් කර ඉදිරි කටයුතු ගෙන යන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ගම්පහ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වීම තුළින් විපක්ෂ නායක තනතුරට තිබෙන ප්‍රශ්නය විසදෙයි ද සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් පියදාස මහතා කියා සිටියේ, විපක්ෂ නායක තනතුර පිළිබඳ ඇති ගැටළුව මේ වන විට සම්පූර්ණයෙන්ම විසඳී අවසන් බවයි.

ජනවාරී මුල් සතිය වෙන විට විපක්ෂ නායක කාර්යාලය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගියපු, තනතුරු ගත් අයට ඉදිරියේ දී විනය පියවර ගන්නේ ද යන්නෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් පියදාස මහතා කියා සිටියේ, ප්‍රතිපත්ති වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය අයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම කාරක සභා රැස්වීමේදී එකඟතාවයකට පැමිණි බවත් පැවසීය.