සිසුන් 119 කගේ උසස් පෙළ ප‍්‍රතිඵල අත්හිටුවයි

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඊයේ (29) රාති‍්‍ර 10.45 ට පමණ එම ප‍්‍රතිඵල නිකුත් කෙරුණු බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙවර උසස් පෙළ විභාගය සඳහා තුන්ලක්‍ෂ විසිඑක් දහස් හාරසිය හැටනව දෙනෙකු පෙනී සිටියා. ඉන් එක් ලක්‍ෂ හැටහත් දහස් නවසියහත් දෙනෙකු විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සදහා සුදුසුකම් ලබාගත් බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 119 කගේ ප‍්‍රතිඵල අත්හිටුවා තිබීමද විශේෂත්වයක්.

නිකුත් කර ඇති අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල ලේඛණ කොළඹ සහ ශී‍්‍ර ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වලට අද (30) පෙරවරු 10.00 න් පසු නිකුත් කිරීමට නියමිතයි. අනෙකුත් ප‍්‍රතිඵල ලේඛණ සියළුම පාසල් වෙත අද දින තැපැල් මගින් යැවීමටද කටයුතු යොදා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප‍්‍රතිඵල ඔවුන්ගේ ලිපිනයන් වෙත ඉදිරියේදී තැපැල් කිරීමට නියමිතව තිබෙනවා. ප‍්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන ජනවාරි මස 16 වැනිදාට පෙර අයදුම් කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.