කැපද?අකැපද?ලංකාවේ බිග් ගර්ල් පාටියක ඇත්ත කතාවක්….!

ජීවිතේ අකමැතිම, අජූතම දවස මොකක්ද කියල ඇහුවොත් කවුරුහරි මගෙන්,අදටත් මගෙ බිග් ගර්ල් පාර්ටි දවස තමයි ඒ ලිස්ට් එකේ උඩින් ම තියෙන්නෙ😑

මං ලොකු ළමයෙක් උනේ එහෙම නැත්තන් වැඩිවියට පත් වුනේ එහෙමත් නැත්තන් මගෙ ඔසප් චක්‍රේ පටන් ගත්තෙ මට අවුරුදු 12 දි. එයාලගෙ දුවගෙ පළමු ඔසප් වීම සමරන්න මගෙ පවුලෙ අයට ඕන උනා.ඒකට මං බනින් නෑ.මොකද එයාල සාමාන්‍ය විදිහට හිතන සාමාන්‍ය මිනිස්සු.

දවස හරියට ම මතක නැතත් ඒක 2007 ජනවාරි මාසෙ කියල මට තාම මතකයි. උදේ පාන්දර ඇහැරෙන්න උනා මදිවට සීතල වතුරෙන් ගැහි ගැහි නාන්නත් සිද්ධවුනා එදා! ඊට පස්සෙ තමයි සන්නිය පටන් ගත්තේ. මං පොඩිකාලේ ඉදන් ගවුම් අදින්න හෙන අකමැති කෙල්ලෙක්.තව රෝස පාට,කහ පාට වගේ ගෑණු පාටත් මට අරහං😒 ඒ ජරා දවසෙ මට සිද්ධ උනා කහ පාට ජරා ගවුමක් අදින්න අම්මගේ රැවිලි ගෙරවිලි මැද්දෙ. ඊට පස්සෙ මං අකමැති ම කෑම,කිරිබත් කන්නත් උනා!!!ඒ විගඩම එතනින් ඉවර උනේ නෑ! අපි ඉන්නවද මැරිලද කියල ජීවිතේ ට හොයල නොබලන නෑදෑයො කියන පිටසක්වල ජීවියෝ ගොඩකට මට වදින්න සිද්ධ උනා කකුල් කඩිත්තුව හැදෙනකන්.සමහර උන්ව දැක්කෙත් එදා.කියාගන්න ඕන නෑදෑකම දන්නෙ නැතුව ,මොනව කතා කරන්නද කියල හිතාගන්න බැරුව මං සෑහෙන්න අසරණ උනා වගේ ම එන එන හැම එකා එක්ක ම බොරුවට හිනාවෙලා ෆොටෝස් ගන්නත් සිද්ධ උනා. මගේ කරුමෙට අම්මට ඕන උනා ජීවිතේට ගවුමක් අදින් නැති එයාගෙ කෙල්ලට පාට පාට ගවුම් අන්දලා ෆොටෝස් ගොඩාරියක් ගන්න😊 ඉතින් මගෙ පොඩි මඟුල දවසෙ මට සිද්ධ උනා ජරා ගවුම් 4ක් විතර මාරු කරන්න දවස ඇතුලත. ලස්සන තෑගිවත් හම්බුනා නම් මං හිත හදාගන්නව ඒ පාර්ටි එක ගැන.ඒත් තොග පිටින් හම්බුන වීදුරු පෙට්ටියි,ලියුම් කවරයි ගැන අම්මා සතුටු උනා මිසක් මට සතුටු වෙන්න පුලුවන් කිසිම දෙයක් එතන තිබ්බෙ නෑ😐

මේ ඔක්කොම මල ජවුසන් අස්සෙ නෑදෑ වෙන පොඩි කොල්ලෙක්ට දැනගන්න ඕන උනා මේ මගෙ බර්ත්ඩේ පාර්ටි එකද කියලත්😒
……………………………………..

අපේ ෆැකල්ටි එක පල්ලෙහා පොඩි කඩයක් තියනව.අපි ඒකට කියන්නෙ “ඇන්ටිගෙ කඩේ” කියල.එතන ප්ලේන්ටි,ශෝට් ඊට්ස් ,සබන්,පැනඩෝල් වගේ පොඩි පොඩි අයිටම් තියෙන්නෙ.
දවසක් මගෙ යාළුවෙක් හදිස්සි ගර්භාශ බිදවැටීමකට ලක්වුණා(සිංහලෙන් කිව්වොත් පීරියඩ්ස් හැදුනා) ඉතින් පුරුදු විදිහට ම ලෙක්ච හෝල් එක වටේම කෙල්ලො රහස් කෝච්චිය කරා ,”ඔයා ගාව අරකක් තියනව ද හලෝ” කියන රහස් පණිවිඩේ පාස් කර කර😂 එකෙක් ගාවවත් නොතිබුන නිසා අපි ගියා “ඇන්ටිගෙ කඩේට”. මගෙ යාළුවා ඇන්ටි ගාවට ම ගිහින් කොඳුරල අවශ්‍යතාවෙ කිව්වා.ඇන්ටි ඉක්මනට පත්තර කොළ කෑල්ලක් අරන් ඔතල ඔතල ,පොලීසීයට පගාව දෙන එකෙක් වගේ වට පිට බලල දඩස් ගාලා මගෙ යාළුවගෙ අතට පෑඩ් එක දුන්නා,දීල ශෝක් කතාවකුත් කොඳුරල කිව්වා!

“බලන්න පුතේ දැන් හැදෙන ගෑණු ළමයින්ට කිසි විලි ලැජ්ජාවක් නෑ.මෙතන පිරිමි ළමයි ගොඩක් ඉන්න අස්සෙ ඇවිල්ලා මේකක් ඉල්ලුවනේ ලැජ්ජාවක් නැතුව.”

මට කියන්න ඕන උනත් “ඇන්ටි පෑඩ් එකක් ප්‍රසිද්ධියෙ ඉල්ලන එක ලෝක අපරාදයක් නෙමෙයි” කියල ,මං තීරණේ කරා අපේ අතිශය සාම්ප්‍රදායික ඇන්ටියට ඒක කියල කිසි වැඩක් නෑ කියල.

ඇන්ටි නම් වේලුණු පොල් කොළයක් නිසා දැන් නවන්න බෑ.ඒත් සම හරක් කෙල්ලොත් හිතන් ඉන්නේ පෑඩ් එකක් ප්‍රසිද්ධියෙ ඉල්ලන එක, ඔසප් දවසට වේදනාවෙන් ඇකිලෙන කොට කොල්ලෙක් ඇයි කියල අහද්දි ලෝකෙ නැති බොරු නොකියා “මට පීරියඩ්ස්” කියන එක,මේ ලෝකෙ තියන ලොකුම අපරාද කියල😏 

ඒ වගේ ම තමයි සම හරක් පිරිමිත්! කෙල්ලෙක් පෑඩ් එකක් ඉල්ලද්දි කුප්ප බැල්මක් දාන් උන් ඒක දිහා බලන් ඉන්නෙ හරියට මේ ලොකේ පීරියඩ්ස් හැදුන පළවෙනි ගෑණිව මේ දැන් දැක්කා වගේ. එහෙම උන්ට තමයි ගෑණියෙක් බ්‍රෙසියර් එකක් පෑන්ටි එකක් ශොප් එකක තෝරනව දකිද්දිත් නඟින්නෙ😏 

මුලින් ම මේ රටේ ගෑණුන්ට උගන්න ඕනේ පීරියඩ්ස් කියන්නෙත් කනව,බොනව,චූ දානවා වගේ ම සාමාන්‍ය ක්‍රියාවක් කියල.අරව දිනපතා වෙද්දි ඔසප් වීම මාසිකව වීම විතරයි එකම වෙනස. ඒ වගේ ම ගෑණු ටිකට කියල දෙන්න ඔසප් වේදනාවත් ඔලුව කැක්කුම, බඩේ කැක්කුම වගේ ම සාමාන්‍ය වේදනාවක් කියල.ඔලුව කැක්කුම හැදිල ඉද්දි කෙනෙක් ඒ ගැන ඇහුවොත් අපි අතේ කැක්කුමක් කියල බොරු කියන් නෑනේ.ඒ වගේ ම මේ කැක්කුම ගැනත් බොරු කියන්න කිසි හේතුවක් නෑ ! ඒ ඒක අතිශය සාමාන්‍ය දෙයක් නිසා.

ඒ වගේ ම පිරිමි උන්දැල ටිකට කියල දෙන්න ඕනේ ගෑණු පෑඩ් ගන්නෙ පීරියඩ්ස් හැදුනම යටට අදින්න මිසක් වෙන අහවල් දෙයක් කරන්න නෙමෙයි කියල.ඒ නිසා පෑඩ් එකක් ගද්දි ඒ දිහා කටවල් ඇරන් බලන් ඉන්න උවමනා නෑ.ඒ වගේ ම ගෑණු ළමයෙක්ට ඔසප් හැදෙනව කියන්නෙ මේ ලෝකේ නමවැනි පුදුමෙ නෙමෙයි.ඒ නිසා කෙල්ලෙක් එයාට පීරියඩ්ස් කිව්වොත් ඇස් ලොකු කරන් කට ඇදකරන් මොන්ගල් ඇක්ෂන් දාන්න යන්න එපා😌 
අන්තිමට උන් ඔක්කොටම කියල දෙන්න ඕන කවදහරි තමන්ගෙ දරුවගෙ ඔසප් චක්‍රේ පටන් ගන්න දවස පාර්ටි දාන්,රතිඤ්ඤා පත්තු කරන් දඟලන්න ඕන දවසක් නෙමෙයි කියලත්!

කට ඇරල කොන්ඩම් එකක් ඉල්ලන්න බය,සකල සිරින් පිරි සිරි ලංකාවෙ උන්දැල මේ දේවල් කවද තේරුම් ගනීද කියන්න බෑ.ඔක්කොම උන් හදන්න බැරි උනත් තම තමන්වත් මේ දේවල් තේරුම් අරන් වෙනසක් කරන්න උත්සහ කරනව නම් ඒක ලොකු දෙයක්!