සිංහරාජ රක්ෂිතයටත් වැඩේ හරි…! අගමැති රනිල්ගේ අණින් රක්ෂිතය හරහා පාරක් කපලා…! (PHOTOS)

ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ රක්‍ෂිතයේ කුඩව පිවිසුම ආසන්නයේ මේ වනවිට බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් මාර්ගයක් ඉදිකරමින් ඇති බව පරිසර සංවිධාන පවසනවා.

මෙම මාර්ගය ඉදිකිරීමෙන් එම රක්‍ෂිතයට දැඩි හානියක් සිදුවන බවයි පරිසර හා ස්වභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ.

සිංහරාජ රක්‍ෂිතයේ ඉදිවන මෙම මාර්ගයට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක්ද සකස් කරමින් පවතින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. එම පෙත්සම ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයටද ලබාදීමට කටයුතු කරන බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් සදහන් කළා.

ලෝක උරුම සිංහරාජය හරහා ඉදිකිරීමට සූදානම් වන මාර්ගයෙන් සිංහරාජ වනාන්තරයට හානියක් නොවන බව ආණ්ඩුව තහවුරු කරනවා. ඊට හේතු වූයේ සිංහරාජ වනාන්තරය හරහා ඉදිකිරීමට සූදානම් වන මාර්ගයෙන් වනාන්තරය හා එහි ප්‍රේරණ කලාපය වෙන්වන බවට පරිසරවේදීන් කරන චෝදනාවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම කියාසිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත වනාන්තරයට හානියක් නොවන අයුරින් මාර්ගය ඉදිකරන්නේ යහපත් අරමුණකින් බවයි. මෙම වනාන්තරවල අසිරිය සහ ක්‍රියාවලිය අනාගත දරුවන්ට දැක ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවද සඳහන් කළා.

මෙම මාර්ගයේ ඉදිකිරීමට පෙර පරිසර ශක්‍යතා අධ්‍යයනයක් සිදුකළේ දැයි කළ විමසීමක්දී සඳහන් කෙරුණේ මේ පිළිබඳ වසරක සිට අධ්‍යනය කර ඇති බවයි.

කෙසේවෙතත් සිංහරාජ වනාන්තරයට මෙමගින් ගැටළුවක් සිදුවන බව ප‍්‍රකාශ කරන්නේ නම් ඒ පිළිබද සාකච්ඡා කර තීරණයක් ගැනීමට සූදානම් බවයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම වැඩිදුරටත් කියාසිටියේ.

සිංහරාජ රක්‍ෂිතයේ කුඩව පිවිසුම ආසන්නයේ බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් ඉදිකෙරෙන මෙම මාර්ගයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.