චෛත්‍යය මත නැග සිටි තරුණයින් පිරිස අත්අඩංගුවට ගන්න සොයයි


හොරොව්පතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටඹුන් වූ චෛත්‍යයක් මත නැග ඡායාරූප ගත් පිරිස හඳුනාගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක‍්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

ඒ, පුරාවිද්‍යා බලධාරීන් විසින් ඊයේ (22) පස්වරුවේ හොරොව්පතාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි. 

මෙම චෛත්‍ය මත නැග අදාළ පිරිස ලබාගත් ඡායාරූප පසුව සමාජජාල මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. ඉන් පසුවයි ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා බලධාරීන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. මණ්ඩාවල කියා සිටියේ අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙම ක‍්‍රියාවට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි. 

පුරාවස්තු ආඥා පනත යටතේ ඔවුන් සිදු කර ඇත්තේ අපරාධ නීතිය යටතට ගැනෙන වරදක් බවද පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙහිදී කියා සිටියා. 

හොරොව්පතාන නගරයට ආසන්නයේ ඇති කිරලාගල මෙම විහාර සංකීර්ණය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක්. එය ක‍්‍රිස්තු වර්ෂ 4වන සහ 5 වන සියවසට අයත් බවටයි විශ්වාස කෙරෙන්නේ. එවැනි වැදගත් ස්ථානයක පිහිටි චෛත්‍යක් මත නැග ලබාගත් ඡායාරූප සමාජජාල මාධ්‍ය හරහා සංසරණය වීමත් සමග බොහෝ පිරිසක් ඊට දැඩි විවේචනයන් ද එල්ල කළා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය පොලිසියට ඊයේ (22) පැමිණිල්ලක් ද සිදු කළා. 

මෙම සිද්ධිය වාර්තා වුණේ ඓතිහාසික පිදුරංගල පර්වතය මත නැග තරුණයින් පිරිසක් අඩ නිරුවත් ඡායාරූප ලබා ගැනීමේ මතභේදාත්මක සිද්ධියෙන් පසුවයි.