මැතිවරණ ප්‍රමාදයට එරෙහිව ශ්‍රිලනිපය ප්‍රමුඛ පක්ෂ රැසක් ඉදිරි දින 02ක තුල අධිකරණයට…!

පළාත් සභා මැතිවරණය ප්‍රමාද වීම ගැන ඉදිරි දින දෙක තුන ඇතුළත නඩු පැවැරීමට කටයුතු කරන බව ශ්‍රී ලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පැවැසීය.

දැනටමත් ඊට අවශ්‍ය කටයුතු ෆයිසර් මුස්තාපා මන්ත්‍රිවරයා විසින් සිදු කරමින් සිටින බවද මහ ලේකම්වරයා කීවේය.

ශ්‍රී ලනිප පක්ෂ මූලස්ථානයේ ඊයේ (31දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා මේ බව කියා සිටියේය.

අද වෙනකොට රේගුවේ කැලැඹීමක් ඇති වෙලා තියෙනවා. අකුරට වැඩ කරනවා. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඉවත් කරලා විශ්‍රාමික හමුදා නිලධාරියෙක් දැමීමට එරෙහිවයි මේ ක්‍රියාදාමය සිදුවන්නේ. එතුමිය පත්කරන කොට මමත් කැබිනට් මණ්ඩලයේ හිටියා. ඇය දක්ෂ නිලධාරිනියක්. මංගල ඇමැතිතුමාත් එතුමිය පත්කරනකොට එහෙමයි කිව්වේ.

2017 බිලියන 918.6ක් රජයට දීලා තියෙනවා. 2018 බිලියන 920.9ක් රේගුව විසින් ලබාදීලා තියෙනවා. රේගු බදු ආදායමෙන් තමයි රජයේ වියදම් 35%ක් ආවරණය කරන්නේ. පසුගිය කාලේ රේගු බදු අඩුවීම ගැන කතාවක් තියෙනවා.

තීරු බදු නිදහස් කිරීම නිසා තමයි මේ ආදායම අඩු වෙන්නේ. ඒ වගේම ඉන්ධන මිල පහළ යෑම. ඒ වගේම වාහන ආනයනය කිරීමෙන් බදු අඩු වුණා. ඒ මුදල රේගුවට අහිමි වුණා. මෙවැනි හොර වංචා ආණ්ඩුවේ ඉහළ පුද්ගලයන් සිදු කරමින් තියෙනවා. ඒ නිසායි රේගුවේ බදු ආදායම අඩු වුණේ.

මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් බල කරනවා රේගුවේ විවිධ බදු නිදහස් කරන්න කියලා. ඒ වගේම මංගල ඇමැතිතුමා ළඟ ඉන්න ඔළුවක් නැති ලේකම්වරු කාර්යාල නිලධාරීන්ට බලපෑම් කරනවා. අපි මේ ක්‍රියාදාමයට විරුද්ධයි. කොයි ආණ්ඩු කළත් මෙවැනි තර්ජන සිදු විය යුතු නෑ.

අපි ඉන්නේ රේගු නිලධාරීන් එක්ක. මොකද මේ ගහන්නෙ වෙන කාටවත් නොවේ රාජ්‍ය පරිපාලන සේවයට.

ඒ වගේම පළාත් සභා මැතිවරණය තියන්න ජනාධිපතිතුමා කැබිනට් පත්‍රයක් දාල තියෙනවා. අපි ආණ්ඩුවට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවා දමන්නෙ නැතිව වහාම ඡන්දය තියන්න කියලා.
මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලටද මෙහිදී මහ ලේකම්වරයා පිළිතුරු දුන්නේය.

ජනාධිපතිතුමාගේ කැබිනට් පත්‍රිකාවට එජාපය සහාය දෙයිද?
ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාව දාලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට අපි කියන්නේ පසුවෙන්නෙ නැතිව ඉක්මන් කරන්න.

ඡන්දය ප්‍රමාද වීම ගැන ඇයි නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙ නැත්තෙ?

දවස් දෙකක් තුනක් ඇතුළත අපි නඩු දාන්න කටයුතු කරනවා. පොදුජන පෙරමුණ ඒකට සූදානම්. අපිට තියෙන බය කොමිසමේ සභාපති නෙවෙයි. එතැන ඉන්නවා ඡන්දය තියන්න එපා කියන එක්කෙනෙක්. අපි නඩු දැම්මොත් අපිට බයයි එතුමා ගිහින් ඡන්ද තියන්න එපා කියයිද දන්නෙ නෑ.

ශ්‍රී ලනිපය ගැන පිරිසක් කලකිරිලා දැන් වෙනම සංවිධානයක් හදාගෙන යනවා. මේ අයගේ තනතුරු නැති වුණේ ජනාධිපතිතුමා පැත්තට ගිය නිසා කියලා චෝදනාවක් තියෙනවා නේද?
අපට දේශපාලන වශයෙන් විවිධ තනතුරු හම්බෙන්න පුළුන්. නැති වෙන්න පුළුවන්. වැඩ කරන්න තනතුරු ඕනෙ නෑ. දැන් අපි විපක්ෂයේ ඉන්නේ. ඒක තේරුම් අරගෙන හිටියොත් හොඳයි.

රුචිර දිලාන් මධුශංඛ