පාතාලයේ ප්‍රභලයෝ 30ක් අල්ලන්න සුපිරි STF මෙහෙයුමක් !

දකුණු සහ බස්නාහිර පළාත් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක පාතාල සාමාජිකයෝ 30 දෙනකු හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගැනීමට සොයන මෙම පාතාල සාමාජිකයන් මත් ද්‍රව්‍ය ජාවාරම්, මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ගැනීම් වැනි අපරාධවලට සම්බන්ධ අය බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙසේ අත්අඩංගුවට ගැනීමට සොයන පිරිස අතරින් වැඩි දෙනෙක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් බවද පොලිස් විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අය අතර නායක මට්ටමේ පාතාලයන් දෙදෙනකුද සිටින බව කියති.

සමහර පාතාලයන් කාන්තාවන් කිහිප දෙනෙක් ඔවුන්ගේ අනියම් බිරියන් වශයෙන් තබාගෙන පාතාල ක්‍රියාකාරකම්වලට උදව් ලබාගන්නා බවටද තොරතුරු ලැබී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

අනියම් බිරියන් වශයෙන් තබාගෙන සිටින බව කියන කාන්තාවන්ට එම පාතාල සාමාජිකයන් සුඛෝපභෝගි වාහන, නිවාස හා ඉඩකඩම්ද මිලදී ගෙන පරිත්‍යාග කර ඇති බවට පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී ඇති බව දැන ගැනීමට ඇත. ඒ තොරතුරු සම්බන්ධයෙන්ද පොලිස් විශේෂ කාර්ය බළකාය පරීක්ෂණ පවත්වාගෙන යයි.
මාකඳුරේ මදුෂ් ඇතුළු ප්‍රබල පාතාලයන් ගණනාවක් ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගැනීමත් සමඟම ඔවුන්ගේ ගෝල බාලයන් පදිංචිව සිටි ප්‍රදේශ අතහැර පලාගොස් සිටින බවද එම බළකාය කියයි.

ප්‍රබල පාතාල නායකයන් සහ ඔවුන්ගේ ගෝල බාලයන් රැසක්ම අවි ආයුධ තොග සහ අත්බෝම්බද සමඟ පසුගිය වකවානුව තුළ වරින්වර අත්අඩංගුවට ගැනීමට හැකිවිණි යැයි පොලිස් විශේෂ කාර්ය බළකාය කීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ පාතාලයන් ඇල්ලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.