මධුෂ්ගේ බිරිය ගයානි මුතුමාලි සියලු රහස් හෙළි කරයි!

පසුගිය කාලයේ සිදු වූ සුවිශේෂී දේශපාලන සිදුවීම් නිසා කියැවුණු ජනප්‍රිය දේශපාලනඥයන් කීප දෙනකුගේ නම් හැරුණු කොට මෑතදී මේ රටේ වැඩියෙන් ම කියැවුණු නම ඩුබායි මධුෂ්ය. එය පසුගිය සති කිහිපය තුළ දී නම් මේ රටේ ජනතාවගේ මුවින් වැඩියෙන් ම කියැවුණු නම බවට පත්වුණේය. ඒ ලංකාවේ ප්‍රසිද්ධ ගායකයකු ද ඔහුගේ පුතා ද අපේ නළුවකු හා තවත් පාතාල සගයින් පිරිසක් ද සමඟ ඩුබායි හෝටලයක් තුළ දී මධුෂ් අත්අඩංගුවට පත් වීමත් සමඟිනි. දැන් මේ රටේ ප්‍රබලතම අපරාධකාරයකු ලෙස හඳුන්වන්නට පටන් ගෙන ඇති සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ්, කඹුරුපිටියේ මධුෂ් හෙවත් ඩුබායි මධුෂ් ගැන මුළු රට ම කතා කරන්නට පටන් ගෙන තිබේ.

කඹුරුපිටිය, ගතාර, බැරගම්මුල්ල ‘සමරගිරි’ නිවෙසේ 1979 පෙබරවාරි 24 වැනිදා මේ පුංචි කොලු පැටියා උපදින විට මේ රටේ මේ තරම් පෙරළියක් කරන අපරාධකාරයකු වෙතැයි කිසිවකු නොසිතන්නට ඇත. ඒ අනුව මධුෂ්ට හරියට ම වයස අවුරුදු 40 පිරුණේ පසුගිය 24 වැනි
ඉරිදාට ය.

මධුෂ් හොඳ මිනිසකු නොවේ. ප්‍රබල අපරාධකාරයෙකි. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකි. ඒ ගැන විවාදයක් නැත. එහෙත් ඒ සියලු හැඳින්වීම්වලට යටත්ව මධුෂ් යනු මේ සමාජය විසින් , මේ සමාජයේ උත්තේජනයන් විසින් නිර්මාණය කළ මිනිසෙකි. මේ රටේ මෙවැනි තක්කඩි, අවස්ථාවාදී, බලලෝභී දේශපාලනයක් නොවන්නට මධුෂ් වැන්නකු බිහි වේ යැයි සිතිය නොහැකිය. ඉදිරියට ද මධුෂ්ලා වැන්නන් බිහි කරන ඒ දේශපාලනය ද සමාජය ද ඒ විදියටම වැජඹෙමින් තිබේ. මධුෂ් සමඟ කුඩු කෑ දේශපාලනඥයන්ගේ ද පොලිස් ලොක්කන්ගේ ද එළියට ආ කතාවලින් පහුගිය දවස්වල මේ තත්ත්වය මැනවින් පැහැදිලි වූයේය.

මධුෂ්ගේ උපන් ගම පිහිටියේ මාතර කඹුරුපිටිය නගරයේ සිට මාකඳුර මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගිය විටය. අදටත් වඩා එදා මේ ගම තේ, කුරුඳු හා කුඹුරු යායන්ගෙන් සුන්දරව පිරී පැවැතිණි.

බොහෝ මිනිසුන්ගේ මෙන්ම මධුෂ්ගේ ජීවිතය ද හමුවීම්, වෙන්වීම්වලින් මෙන්ම බරපතළ දුක්ඛදායක මුහුණදීම්වලින් ද පිරී පැවැති එකක් විය. කුඩා කලදීම ඔහුගේ ජීවිතය ඉතා කනගාටුදායක සිදුවීම්වලින් පිරුණක් විය.
මෙරට මහා භීෂණයක් පැවැති 1989 දී මධුෂ්ගේ මව ආරක්ෂක අංශ ප්‍රහාරයකින් මරු වැල½ඳ ගත්තාය. ඒ ඇය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධව සිටි නිසාය.

එම අමිහිරි සිදුවීම තදින් ඔහුගේ සිතේ පැලපදියම් වෙත්ම තාත්තා වෙනත් විවාහයක් කර ගෙන ඔවුන්ගෙන් වෙන්ව ගියේය.

බොහෝ අගහිඟකම් මැද මධුෂ් තම පුංචි අම්මාගේ සෙවණේ හැදී වැඩුණේය. ඔහුගේ එකම නැගණිය වූ ලක්ෂිණි ද එකම සහෝදරයා වූ නිරෝෂන් ලක්ෂිත ද හැදී වැඩුණේ එම නිවෙසේය. කෙසේ වෙතත් මවගේ මරණයෙන් ආසන්න කාලයක ම මේ එකම මල්ලී ද කිසියම් පිරිසක් විසින් ඝාතනය කරන ලදුව මාතර වේල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබිණ. එය මධුෂ්ගේ ජීවිතයට තදින් බලපාන වේදනාකාරී දෙයක් විය. ඔහුගේ ජීවිතය විශාල කඩාවැටීමකට ලක් වන්නට ද සමාජය කෙරෙහි වෛරයක් නිර්මාණය වන්නට ද අම්මාගේ සහ එකම සොහොයුරාගේ ඝාතන දෙක හේතු වන්නට ඇති බවට සැකයක් නැත.

මධුෂ් ගැන විවිධ පුවත්, විවිධ කතා පසුගිය කාලයේ කෙළවරක් නැතිව දිග හැරෙන්නට විය. ඒ අතරින් ඔහුගේ ජීවිතයේ පාසල් අවධියේ පටන් හොඳම කතාව එළියට ආවේ පසුගිය සතියේය. ඒ ඔහුගේ විවාහක බිරිය ගයානි මුතුමාලිගෙනි. ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන සිය කාර්යාලයට කැ¼දවා ඇය සමඟ කළ කතාවේදී ඇය මේ බොහෝ දේ හෙළි කර තිබුණාය.

අනෙක් බොහෝ තරුණයන්ට මෙන්ම මධුෂ්ට ද පාසල් ප්‍රේමයක් තිබිණ. මධුෂ් ඉතා කඩවසම් මනා පෙනුමින් යුත් තරුණයකු ලෙස පාසල් අවධියේ පටන් ප්‍රකටව සිටියේය. ඒ නිසා බොහෝ තරුණ සිසුවියන්ගේ ඇස මධුෂ් කෙරෙහි නැඹුරු වන්නට විය. එහෙත් ඔහුගේ හිත දිනා ගත්තේ ගයානි මුතුමාලි ය.

මේ පාසල කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයයි. එය මිශ්‍ර පාසලක් විය. දෙන්නාම හිටියේ එකම පන්තියේ ය. ගයානි පාසල් ආවේ කඹුරුපිටිය මාවරල පොලිස් වසමේ මාකඳුරේ වටේවල මහගෙදරවත්තේ ඉඳන් ය. මධුෂ් කඹුරුපිටිය ගතාරේ ය.

“අපි යාළුවුණු මුල් කාලෙම මධුෂ්ලාට ගොඩාක් කරදර ආවා. 1988-89 අපේ පළාත්වල ලොකු භීිෂණයක් තිබ්බා. මධුෂ්ගේ අම්මාව මරන්නෙ ඒ කාලෙදි. හමුදාවෙන් මැරුව කියලයි ආරංචි වුණේ. ඒත් එක්ක ම මල්ලිවත් මාතර වේල්ලදි මරල දාල තිබුණා. ඒ මරණ දෙක මධුෂ්ගෙ ජීවිතයට හරියට බලපෑවා. ඔය අතරෙ තමයි තාත්ත එයාලව දාල ගියේ…..

මධුෂ් ඉගෙන ගන්න දක්ෂයි. සාමාන්‍ය පෙළ හොඳට පාස් වුණා. මේ කරදර නිසා එයාට දිගින් දිගට ම ඉගෙන ගන්න බැරි වුණා….

ඉස්කෝලෙන් අයින් වුණාට පස්සෙත් අපේ සම්බන්ධය දිගට ම තිබුණා. මධුෂ් ටිකක් දාමරික නිසාත් ඒ ගොල්ලන්ගේ පවුල්වලට ඇති වුණු ප්‍රශ්න නිසාත් අපේ අම්මයි තාත්තයි මේ සම්බන්ධෙට කොයි විදියෙන් වත් කැමැති වුණේ නෑ. ඒත් අපේ ආදරය දිගට ම තිබුණා….

ඕ ලෙවල් විභාගෙන් පස්සෙ ඉස්කෝලෙන් අයින් වෙලා එයා පුංචි පුංචි වැඩ කරන්න පටන් ගත්තා. අම්පාර පැත්තෙ ගරාජ් එකකත් ටික කාලයක් වැඩ කළා. එක එක දේශපාලකයො එයාව සම්බන්ධ කර ගෙන ඒ ගොල්ලන්ගෙ නොයෙකුත් වැඩ කර ගන්නත් පටන් ගත්තා…”

සල්ලිබාගේ හා පවුල් පසුබිමක් තිබුණු ගයානිගේ පවුලෙන් මොන තරම් විරෝධයක් එල්ල වුවත් ඔවුන්ගේ ආදරය ලියලා ගියේය. ඒ අනුව 1999 දී ඔවුහු දෙදෙනා කාටත් රහසින් විවාහ වූහ.

“විවාහ වුණායින් පස්සෙ මුලින් ම අපි කඹුරුපිටිය ගතාරේ මධුෂ්ගෙ ගමේ හිටියෙ. ඊට පස්සෙ අපේ ගම මාකඳුරේ වටේවෙල මහගෙදර වත්තෙත් හිටියා. අම්මල තාත්තලගෙ විරුද්ධකම් නැති වෙලා ගියා. මධුෂ් ත්‍රීවීල් එකක් එළෙව්වා. පස්සෙ ඒ රස්සාව අතඇරල අත්ට්‍රැක්ටරයක් අරගෙන ඒකෙත් වැඩ කළා. ඒ දවස්වල අපේ ජීවිත හරි සාමයෙන් සතුටින් ගෙවිල ගියා…”

මේ අතර මධුෂ්ට හා බිරිය ගයානිට එක්තරා දේශපාලනඥයකු මාර්ගයෙන් මාතර මහ රෝහලේ සුළු සේවකයන් ලෙස රැකියාව ලැබෙන්නේ ය. මධුෂ්ට උපස්ථායකයකු ලෙස රැකියාව ලැබෙන අතර ගයානි වැඩ භාර ගත්තේ කනිෂ්ඨ සේවිකාවක ලෙසය. එහෙත් ටික කාලයක් රැකියාව කළ මධුෂ් හදිසියේ ම එයින් ඉවත් වන්නට තීරණය කළේ ඇයි දැයි දන්නේ නැත. ඒ විතරක් නොව ඔහු රැකියාවෙන් වහාම අස්වන්නැයි ගයානිට ද බලපෑම් කළේය.

“මධුෂ්ගෙ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තෙ එතන ඉඳලා. මං පුළුවන් තරම් කිව්වා. ඒත් පස්සෙ මට කරන්න දෙයක් තිබුණෙ නැහැ….” ගයානි කියන්නීය.

මධුෂ් අපරාධකාරයකු ලෙස අත්පොත් තබන්නේ මාවරලේ කුසුමදාස නම් තැනැත්තකු ඝාතනය කිරීමෙන් යැයි කියනු ලැබේ. එහෙත් ඒ චෝදනා මධුෂ්ට එරෙහිව ඔප්පු කර ගත හැකි වූයේ නැත.

‘අපට අපේ පාඩුවේ ඉන්න දෙන්න’ යැයි ළාබාල තරුණ අවධියේ දී ගමේ දේශපාලන අධිකාරියෙන් ආයාචනා කළ ඩුබායි මධුෂ් වැන්නකු රටවල් දෙකක් හොල්ලන තරමේ දරුණු අපරාධකරුවකු වූයේ කෙසේද යන්න මේ සමාජය විසින් විමසා බැලිය යුතු කරුණක් බව ගයානි මුතුමාලි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරියේ කළ පාපෝච්චාරණයෙන් ධ්වනිත වන සැබෑ යථාර්ථයයි.

මහගෙදරවත්ත ගයානිගේ මහ ගෙදර තිබූ ප්‍රදේශයයි. කිසියම් ව්‍යාපෘතියක් සඳහා මේ ප්‍රදේශවල ඉඩම් අත්පත් කර ගන්නට යැයි මුලින් ම වැඩේට බහින්නේ පළාත් අමාත්‍යවරයකු වූ ඩැනී හිත්තැටියගේය. එම ඇමැතිවරයාගේ මස්සිනා වූ උපනන්ද නමැත්තා මධුෂ්ට මෙන්ම ඒ පවුල්වල අයට ද ඉතාම හිංසාකාරී ලෙස කරදර කර තිබිණ. මධුෂ් මෙවැනි තත්ත්වයක් දක්වා නිර්මාණය කිරීමට හේතු වූ සාධක ඔහුගේ බිරිය ගයානි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරියේ කියා තිබිණ.

“ඩැනී හිත්තැටියගේ අපේ නෑදෑයො වෙනවා. මේ ඔක්කොම ගැටුම් ඇති වුණේ ඉඩම් ප්‍රශ්න නිසා. අපි ඒ මිනිස්සුන්ට ඇති තරම් කිව්වා අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඇත්තම කිව්වොත් මධුෂ් ඒ කාලෙ ඒ අයව පුළුවන් තරම් මග ඇරලයි හිටියෙ. ඒත් අපට නොසෑහෙන්න කරදර කළා. උපනන්ද මධුෂ්ට ශාරීරිකවත් හරියට හිංසා කළා. මේ තාඩන පීඩන මැද්දෙ අපිට 2011 අවුරුද්දෙ පුතෙක් ලැබුණා. ඒත් එක්ක මේ කරදර මැද්දෙ ඉන්න බැරි නිසා මධුෂ් මට කතා කළා වෙන කොහේ හරි ගිහින් ජීවත් වෙමු කියලා. අපි අපේ ගමේත් මධුෂ්ගේ ගතාරේ ගෙදරත් විටින් විට දරුවත් එක්ක ජිවත් වුණා….”

පසුකාලයක මොන තරම් අපරාධකාරයකු වුව ද මධුෂ්ට මේ කෙනහිලි හා හිංසාවන්ට විරුද්ධව නැඟී සිටින්නට සිත් පහළ වන්නේ බොහෝ විට අම්මාගේ ලේ වල ගතිය ඇඟේ තිබුණු නිසා විය හැකිය. මධුෂ්ගේ අම්මා මාලනී සමරසිංහ 89 භීෂණය වකවානුවේ පවා කඹුරුපිටිය පැත්තේ ජවිපෙ කාන්තා අංශයේ ක්‍රියාකාරිනියක වූවාය. දැනුවත්වම මේ දේශපාලනයට සම්බන්ධ වූ ඇය ඝාතනය වන්නේ ඒ ප්‍රදේශයේ කිසියම් අභ්‍යන්තර වැඩකට සම්බන්ධ වූ අවස්ථාවේදී හෝ ඉන්පසුව හමුදා අත්අඩංගුවට පත් වූ පසුව බව කියනු ලැබේ. දරුවන් දෙදෙනකු ඉන්නා අම්මා කෙනකු හැටියට ඇය මෙවැනි අවදානමකට මුහුණ දුන්නේ කිසියම් එඩිතර බවක් තිබුණු ගැහැනියක නිසා වන්නට ඇත.

කෙසේ නමුත් මේ ගමේ ඉඩම් ආරවුල අවසානයේ මධුෂ් අතින් සිදුවන මීනීමැරුම් වැලක් බවට පරිවර්තනය වී තිබිණ. කුසුමදාස මරා ඉන් ගැලවෙන ඔහු අනතුරුව උපනන්දව මරා දැම්මේ ය. අපරාධ චෝදනා මත රිමාන්ඩ් ගතව සිටියදී අනතුරුව සැලැසුම් කරන්නේ පළාත් ඇමැති ඩැනී හිත්තැටියගේ මරා දමන්නටය. දේශපාලකයන්ගේ පසුපස යන පාතාලයන් වෙනුවට දේශපාලකයන්ට අභියෝග කරන පාතාලයකු බවට මධුෂ් පත් විය. එතැන් සිට මධුෂ් පාතාල ලෝකය තුළ හොල්මන් කරන්නට පටන් ගත්තේ ය. අනතුරුව ක්‍රමයෙන් ලංකාව තුළ සැඟවී සිටිමින් ද ඩුබායි සිට ද පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නට විය.

රටින් පැන ගිය මධුෂ් අවසන් වරට තමන්ට හමු වූ අයුරු ද බිරිය ගයානි මුතුමාලි නියෝජ්‍ය පොලිස්පතිවරයාට කියා තිබිණ.

“දරුවත් අරගෙන මම පහුගිය අගෝස්තු 11 වැනිදා සිංගප්පූරු ගියා. දරුවට දැන් අවුරුදු 18 ක්. ලොකු අසනීප තත්ත්වයක් තියෙනවා. මං ගියේ දරුවට බෙහෙත් ගන්න. පස්සෙ මං නාඳුනන දෙන්නෙක් එවල තිබුණා සිංගප්පූරුවට. ඒ ගොල්ල අපිව ඩුබායි එක්ක ගියා. ඩුබායිවලදි මට මධුෂ්ව හම්බ වුණා.

මට එදා මධුෂ් කිව්ව දරුව එයාට දෙන්න කියල. දරුවා එහෙ තියලා මට හිස් අතින් ගෙදර එන්න සිද්ධ වුණා. මට කරන්න දෙයක් තිබුණෙ නැහැ. මට මගේ පුතා ගැන පුදුම තරම් දුකයි…”

මධුෂ්ගේ නම ඉදිරියේ ලියැවෙන මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් හා වෙනත් සාහසික පාතාල අපරාධ නිමක් නැත. ඉතා සූක්ෂ්ම ලෙස අපරාධ කිරීමේ හා කිසිදු සාක්ෂියකට ඉඩ නොතබා ඒවා සඟවා තැබීමේ පුදුමාකාර හැකියාවක් ඔහු සතුව තිබිණ. අද මොන මොන දේශපාලකයන් තමන්ගේ ගැලවීමට විවිධ දේ කිව්වත් මධුෂ් මේ තත්ත්වය දක්වා වර්ධනය කිරීමේ හා පවත්වා ගැනීමේ උත්තේජනය හා සහයෝගය ලැබී ඇත්තේ සමහර දේශපාලකයන්ගෙනි. ඇතැම් පොලිස් ලොක්කන්ගෙනි. ඔහු ඒ සඳහා ඔවුන්ට ප්‍රතිඋපකාර ද දක්වා තිබේ.

මධුෂ් මේ රටේදී අත්අඩංගුවට පත් වූයේ නම් මේ කතාව මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබිණ. ජනතාවට දැන් මෙහි අරුමයක් හා උනන්දුවක් ඇත්තේ මධුෂ් ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් වීමය. එරට නීතිය අනුව කටයුතු සිදු වීමය.

තිස්ස කොරතොට