මහනුවර වකුගඩු රෝග සුබසාධන මධ්‍යස්ථානය ජනතා අයිතියට…!

ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක මූල්‍ය ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් මහනුවර මහ රෝහලට අනුබද්ධිතව ඉදිකරන ලද වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ(25) ජනතා අයිතියට පැවරිණි.

රජයේ කිසිදු මුදලක් වැය නොකරමින් පූර්ණ ලෙසම ජාතික වකුගඩු අරමුදලේ ප්‍රතිපාදන මත මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබීම විශේෂත්වයක් වන අතර මෙරට වකුගඩු රෝගින් වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතාගේ නමින් මෙම මධ්‍යස්ථානය නම් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී අනුනායක ස්වාමින් වහන්සේ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවේ දී ශ්‍රී ලංකාවේ සමස්ත වකුගඩු රෝගීන් වෙනුවෙන් සහ වකුගඩු ආසාදන රෝග මූලය සොයා ගැනීම වෙනුවෙන් අසමසම සේවාවක් ඉටුකළ සහ වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමට කැපවී සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතාගේ සේවය අගයමින් විශේෂ සම්මාන තිළිණයක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය. වකුගඩු රෝගී පවුල් 670ක් සඳහා ගෘහස්ථ ජල පෙරණ යන්ත්‍ර ලබාදීම සංකේතවත් කිරීම, වකුගඩු රෝගීන් 500 දෙනකුට රුධිර පීඩන මාපක ලබාදීම සංකේතවත් කිරීම, වකුගඩු රෝග නිවාරණය පිළිබඳ දීප ව්‍යාප්තව පාසල් දරුවන් අතර පැවැති තරගාවලියේ මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රාහක සිසුන්ට සම්මාන හා තිළිණ පිළිගැන්වීම ඇතුළු වැඩසටහන් රැසක් ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න, හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද යන මහ්තවරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ද, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල, මහනුවර දිස්ත්‍රික් ලේකම් එම්.එන්.ජී.ජී. තිස්ස කරුණාරත්න, මහනුවර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.