ක්‍රිකට් සූදුවේ නිරුවත පෙන්වන තිත්ත ඇත්ත

ඔහු කලක් වේගවත්ම එක්දින ශතකයට හිමිකම් කීය. කලක් වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කීය. කලක් මෙරට පිතිකරුවකුව ඉනිමක රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියූ පුද්ගලයාය. ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන විට ලකුණු 10,000 සීමාව සහ කඩුලු 300 සීමාවක ඉක්මවූ ලොව එකම ක්‍රීඩකයාගේ වාර්තාවට අදටත් හිමිකම් කියන්නේ ඔහුය. ඔහු ආමන්ත්‍රණය කරන ලද්දේ ‘මාස්ටර් බ්ලාස්ටර්’ යන අන්වර්ථ නාමයෙනි. ක්‍රිකට් නම් මේ යැයි කියා එතෙක් පිට්ටනියක් අහලකටවත් නොපැමිණි පිරිස් ක්‍රිකට් පිස්සන් බවට පත් කළේ ඔහුය. ඒ වෙන කවුරුත් නොව සනත් ජයසූරියය.

ඒ එදාය. අද ඒ සියල්ල කණපිට හැරී තිබේ. කොටින්ම සනත්ට දැන් ලබා ඇත්තේ නරකම කාලයක් යැයි කිව්වද වැරදි නැත. එදා දැක්වූ දක්ෂතාවලට මල් මාලා ඇති තරමට පැලැන්දුව ජයසූරියයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන නිලධාරීන් මෙදා පලන්දා ඇත්තේ රතු මල් මාලයකි. කොටින්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සනත් දංගෙඩියට යවා තිබේ. ඔහු වරදකරුවකු ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඔහුගේ ක්‍රිකට් ක්‍රියාකාරකම් වසර 2ක් මුළුමනින්ම තහනම් කර ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කියන්නේ සනත් දූෂණ විමර්ශන සඳහා සහාය නොදැක්වූ බවය. ඊට බාධා කළ බවය. ඒවා ප්‍රමාද කළ බවය. එබැවින් ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 2:4:6 වගන්තිය සහ 2:4:7 යන වගන්ති ඔහු කඩ කර තිබේ. එහි මුල් වගන්තියේ සඳහන් වී ඇත්තේ අසමත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීමය. පිළිගත හැකි හේතුවෙක් නැතිව දූෂණ විරෝධී ඒකකය මෙහෙයවූ පරීක්ෂණයන්ට සහයෝගය නොදැක්වීම සහ පරීක්ෂණයට අදාළ තොරතුරු සහ හෝ ලේඛන නිවැරැදි ලෙස සහ සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම එම වගන්තියට ඇතුළත්ය.

දූෂණ විරෝධී නීතිය යටතට ගැනෙන දූෂණයක් හෙළි කරගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණයට අදාළ හෝ පරීක්ෂණයේ සාක්ෂි විය හැකි වාර්තාවක් හෝ වෙනත් තොරතුරක් හෙළිදරව් නොකිරීම, වෙනස් කිරීම හෝ විනාශ කිරීම හෝ දූෂණ විරෝධී ඒකකය මඟින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයන්ට බාධා පැමිණවීම හෝ ප්‍රමාද කිරීම එහි දෙවැනි වගන්තියේ වේ.

ඉහතින් සඳහන් චෝදනා දෙක උල්ලංඝනය කිරීම සම්බන්ධ වරද පිළිගැනීම නිසා සනත් එවැනි දඬුවමකට යටත් කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. ඉකුත් වසරේ ඔක්තෝම්බර් 15 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ඉදිරි වසර 2ක හෙවත් ලබන 2020 වසරේ ඔක්තෝම්බර් 14 වැනි දා වන තුරු සනත්ට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රියාකාරකම්වල නියැළීම තහනම්ය. එසේම මෙම කාලවකවානුව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හෝ ජගත් ක්‍රිකට් කවුන්සිලයට සම්බන්ධ කිසිදු ක්‍රියාකාරකමක නියැළීමටද ජයසූරියට තහනම්ය.

එම දඬුවම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට සම්බන්ධ සියලුම රටවලද බලපැවැත්වේ. ඊට අමතරව ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම, තනතුරක් දැරීමට අමතරව නිල උත්සවවලට සහභාගි වීමටද එම දඬුවමෙන් ජයසූරිය වැට බැඳී තිබේ.

පාවා දුන්නා ද?

ඇත්තටම තේරීම් කමිටු සභාපතිවරයාව සිටියදී ජයසූරිය විසින් තරග පාවාදීමක් සිදු කර ඇද්ද? මේ දිනවල කඩ පිළේ, දුම්රියේ, කාර්යාලයේ නැතහොත් බස් රථයේ සිටින බොහෝ දෙනාගේ මාතෘකාවට බඳුන් වී ඇති ගැටලුව එයය.

2017 වසරේ පැවැති සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය තුළ වූ තරග පාවාදීම් පිළිබඳව සැක කෙරෙන සිදුවීම් කිහිපයක් වාර්තා විය. ඉන් පසු එම සිදුවීම් මුල් කරගෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දූෂණ මර්දන ඒකකය ශ්‍රී ලංකාව සම්බන්ධව පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය. එවකට තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ සනත් ජයසූරිය ය. මේ සැක කටයුතු සිදුවීම් සමබන්ධව දූෂණ මර්දන නිලධාරීන් අවස්ථා කීපයකදීම ජයසූරියගෙන් ප්‍රශ්න කළේය.

අදාළ පරීක්ෂණය සම්බන්ධව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සකසන ලද වාර්තාවට අනුව ඔවුන් ජයසූරිය අවස්ථා 3කදී ප්‍රශ්න කිරීම්වලට ලක් කර තිබිණි. දූෂණ මර්දන නිලධාරීන් විසින් මුලින්ම ජයසූරියගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඉකුත් 2017 වසරේ සැප්තැම්බර් 22 වැනිදා ය.

දුරකතන පැටලිල්ල

එම අවස්ථාවේදී පරීක්ෂණ කටයුතු සඳහා තමාගේ ජංගම දුරකතන භාර දෙන ලෙස දූෂණ මර්දන නිලධාරීහු ජයසූරියට දැන්වූහ. එහෙත් එම ඉල්ලීම ඔහු පැහැර හැර තිබිණි. දුරකතනය භාර නොදීමට හේතුව ලෙස ජයසූරිය දක්වා තිබුණේ පෞද්ගලික හේතුවකි. කෙසේ වෙතත් ජයසූරිය තමන් භාවිත කළ දුරකතන සම්බන්ධව අයි.සී.සී.ය සෑහීමකට පත් වන කිසිම තොරතුරක් ලබා නොදීම ගැන දූෂණ මර්දන නිලධාරීහු දිගින් දිගටම ඔහුගෙන් ප්‍රශ්න කළේය. ඒ පූර්ණ වාර්තාව දැන් නිකුත් වී තිබේ. එම වාර්තාව දක්වන්නේ දුරකතන අංකයේ අගට 888 සහ 088 දරන අංක ජයසූරිය පාවිච්චි කර තිබෙන නමුත්, ඒ පිළිබඳ පළමු අදහස් දැක්වීමේදී ඔහු විසින් කිසිවක් ප්‍රකාශ කර නොතිබුණ බවය. ඒ සම්බන්ධව දූෂණ මර්දන නිලධාරීහු සනත්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළහ.

එහිදී ප්‍රකාශයක් කළ ජයසූරිය වර්ෂ 2017 මැයි මස 15 වැනිදා සිට 23 හෝ 24 වැනිදා දක්වා වූ කාලයේදී සිය දුරකතනය අස්ථානගත වූ බව අයි.සී.සී.යට කීවේය. ඒ සම්බන්ධව තමන් සිය සේවා සපයන ආයතනයට දැනුම් දුන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එහෙත් ප්‍රකාශය ලබාගත් දිනට පසු දින, එනම් 2017 සැප්තැම්බර් 23 වැනි දින දූෂණ මර්දන නිලධාරීහු ජයසූරියගේ 888 අවසන් අංක තුන දරන දුරකතනය වෙත ඇමතුමක් ලබාදුන්හ. එම අවස්ථාවේ දුරකතනය නාද වූයේය. එහෙත් කිසිවකුත් ඒ සඳහා ප්‍රතිචාර දක්වා තිබුණේ නැත. නාද වීමෙන් අනතුරුව “වොයිස් මැසේජ්” දක්වා එම ඇමතුම සම්බන්ධ වී තිබෙන බව දූෂණ මර්දන නිලධාරීන් ලබා දුන් වාර්තාවේ පැහැදිලිවම සඳහන් කර තිබේ. නමුත් පසුව කරන ලද උත්සාහයේදී එම දුරකථනය ක්‍රියා විරහිත කර තිබූ බවද දූෂණ මර්දන නිලධාරීන් සිය වාර්තාවේ දක්වා තිබිණි.

පළමු හමු වීමෙන් පසු සති 2ක පමණ කාලයක් ගත වීමෙන් පසු, එනම් 2017 ඔක්තෝම්බර් 05 වැනිදා දූෂණ මර්දන නිලධාරීහු යළිත් ජයසූරිව මුණ ගැසුණහ. එදිනද පළමුව මුණ ගැසුණ ආකාරයටම ජයසූරිය තම පෞද්ගලික නීතිඥයා සමඟ දූෂණ මර්දන නිලධාරීන් හමුවට ආවේය. එම සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර ජයසූරියගේ නීතිඥයා සනත් කොළඹදී ලබා දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් කළ යුතු බවත්, දුරකතන දෙක අස්ථාන ගත වූවේ යැයි පැවැසීම දුරකතන 2 විනාශ කළා වශයෙන් නිවැරදි විය යුතු බව පවසා තිබේ. එහෙත් පළමු සාකච්ඡාව පටිගත කිරීමේදී, දුරකතන දෙක අස්ථාන ගත වූ බවට ඔහු කරන ප්‍රකාශය පටිගත වී ඇති බව අයි.සී.සී දූෂණ මර්දන නිලධාරීන් සිය වාර්තාවේ දක්වා තිබිණි.

දුරකතනය නාද වීම හා හඬ පණිවුඩ ඇසෙන්නට සැලැස්වීම සම්බන්ධව මෙහිදී දූෂණ මර්දන නිලධාරීහු විමසූහ. ජයසූරියගේ පිළිතුර වී තිබුණේ අතිශය පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් තම දුරකතන සති අන්තවලදී තමන්ගේ රියැදුරු භාරයේ තබා ඇති බවය. ඒ නිසා එන සියලුම දුරකතන ඇමතුම් පිළිබඳ තොරතුරු බලා ගැනීමට හඬ පණිවිඩ හෙවත් වොයිස් මැසේජ් පහසුකම ලබාගෙන ඇති බවය. එවැනි අවස්ථාවකදී දූෂණ මර්දන නිලධාරීන්ගේ ඇමැතුම එන්නට ඇති බව ජයසූරිය ඔවුන් වෙත පවසා සිටියේය.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී පිළිතුරු දී ඇති ජයසූරියගේ නීතිඥයා සඳහන් කර ඇත්තේ, “මේක විතරයි ඔහු විසින් සිදු කරන ලද එකම අත්වැරද්ද. ඇතැම් විට එය අත්වැරද්දක්, බොරුවක්, සත්‍ය නොවන හෝ උල්ලංඝනය කිරීමක් විදියට ගන්න පුළුවන්. මහත්වරුනේ… ඔබලා එය තීරණය කරන්න.” කියාය. ඒ කතාවත් අයි.සී.සී. දූෂණ මර්දන නිලධාරීහු සිය වාර්තාවේ සඳහන් කළහ.

දුරකතනයේ විස්තර

2017 මාර්තු මස 15 වැනිදා සිට සැප්තැම්බර් මස 14 වැනිදා දක්වා වූ කාල සීමාවේදී ජයසූරිය විසින් 888 දරන අංකයෙන් කෙටි පණිවිඩ සියයකට වැඩි සංඛ්‍යාවක් මෙන්ම දුරකතන ඇමැතුම් විශාල ප්‍රමාණයක් ලබාගෙන තිබෙන බව එම බිල්පත් පරීක්ෂාවෙන් දූෂණ මර්දන නිලධාරීන් හෙළි කරගැනීමට සමත් වූයේය.

වැදගත්ම කාරණාව වන්නේ තමා දුරකතනය පාවිච්චි නොකළ බව කී කාල සීමාව වූ ජුනි 02 වැනිදා සිට ඔක්තෝම්බර් 05 වැනිදා දක්වූ කාල සීමාවේදී ජයසූරිය වට්ස්අප් මැසේජ් හරහා Please feel free to contact me on xxxx888 (නිදහස් වේලාවක 888 දරන අංකයෙන් මා හා සම්බන්ධ වෙන්න) යනුවෙන්ද කෙටි පණිවිඩයක් යවා තිබෙන ආකාරය දූෂණ මර්දන නිලධාරීහු හෙළිදරව් කරගත්හ. ඊටත් අමතරව සැප්තැම්බර් මස 15 වැනිදා සිට 23 වැනිදා දක්වා එම අංකයෙන් ලබා ගන්නා ලද දුරකතන ඇමැතුම් මෙන්ම කෙටි පණිවිඩ ගණනාවක් සම්බන්ධව වූ තොරතුරුද ඔවුහු වාර්තා කළහ.

අයි.සී.සී තීන්දුව

මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික කවුන්සිලය පහත තීරණයන්ට එළැඹ තිබේ. සනත් ජයසූරිය දුරකතන 2ක් භාවිතා කර තිබේ. ඒ දුරකතන දෙක ඔහු විසින්ම භාවිතා කර ඇත. දුරකතන විනාශ කළ හෝ අස්ථානගත වූවා යැයි කියන කාලසීමාව තුළ ඔහු වෙන දුරකතනයක් භාවිතා කර නැත. අනාවරණය කරගෙන ඇති ඒ සියලු කරුණු සලකා බලා වසර 2ක ක්‍රිකට් දණ්ඩනයකට ජයසූරියව යටත් කිරීමට පියවර ගෙන ඇත.

තරග පාවාදීම් සම්බන්ධව කරන ලද පරීක්ෂණයකින් පසු ජයසූරියට එම දඬුවම ලබා දුන්නද ඒ කිසිම තැනක ඔහු තරග පාවාදීමක් සිදු කළ බවට වූ සාක්ෂියක් හෝ සටහනක් නොවීම සතුටට කරුණකි. සිය දඬුවම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කළ වහාම නිවේදනයක් නිකුත් කළ සිටි ජයසූරිය තමාට එල්ල වී ඇති චෝදනා තරග පාවාදීම්, තණතිලි වෙනස් කිරීම් හෝ වෙනත් දූෂණ ක්‍රියාවක් සම්බන්ධ ඒවා නොවන බව කීවේය. තමන්ට චෝදනා එල්ල වී ඇත්තේ, ඔවුන්ගේ පරීක්ෂණවලට සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙන් බව පවසා ඇති ජයසූරිය ක්‍රීඩාව සම්බන්ධයෙන් තමන් හැම විටම අවංක භාවයෙන් සහ විනිවිද භාවයෙන් යුතුව ක්‍රියා කර ඇති බව පැවසුවේය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව සිටින්නේ ලොව වැඩිම තරග පාවාදීම් සිදු කෙරෙන රටවල් අතර ඉදිරියෙන්මය. එම තත්ත්වය සලකා බලා දූෂණ පරීක්ෂණ කටයුතු මෙහෙයවීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන නියෝජිත කාර්යාලයක්ද ශ්‍රී ලංකාවේ තාවකාලිකව පිහිටුවා තිබේ.

ජයසූරියට අමතරව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වූ නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ විරෝධී ඒකකය විසින් චෝදනා එල්ල කර තිබේ. තරග පාවාදීම් සම්බන්ධව වූ තොරතුරු ලබානොදීම සම්බන්ධව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීරටද වසර 3 ක දඬුවමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මීට ඉහතදී කටයුතු කළේය.

ජයසූරියට ලබා දුන් දඬුවම ප්‍රකාශයට පත් කිරීමේදී අදහස් දක්වා ඇති දූෂණ මර්දන කමිටු ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල්, තරග පාවාදීම් සම්බන්ධව ලබා දුන් සහන කාල සීමාව තුළදී ක්‍රීඩකයන් මෙන්ම වෙනත් පුද්ගලයන් 11 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ දූෂණ සම්බන්ධයෙන් අලුත් සහ වැදගත් තොරතුරු රැසක් ලබා දුන් බවත්, ඒවායේ නවතම තත්ත්වය ඉදිරියේදී හෙළි කිරීමට කටයුතු කරන බවත් සඳහන් කර තිබේ.

ඩී. ජේ. අතුකෝරල