රූපලාවන්‍ය ශිල්පිනිය ඇදට අරන් ලක්‍ෂ විස්සක් ගැරූ නොම්මර එකේ අනංගයෙක්…!

සෙව්වන්දි මෙලොව එළිය දුටු දින දෙවියන් විසින් ඇයට අපූරු තිළිණයක් ලබා දුන්නේය. ඒ සැමටම නොලැබෙන විශේෂිත සුන්දරත්වයකි. ඒ නිසාමදෝ කුඩා කල සිටම ඇය කෙරෙන් අමුතු ලස්සනකි දිස්වූයේ. සාමාන්‍ය පවුලක කොළඹ නගරයේ හැදී වැඩුණු ඇය සුරංගනාවියක් මෙන් ලස්සන යැයි බොහෝ අය පැවසූහ. තවත් අය ඒකාන්තයෙන් ඇය නිළියක් වන බව පැවසූහ. එකී නොකී විවිධ කතා මැද සෙව්වන්දි තාරුණ්‍යය කරා ළං වූවාය.

අධ්‍යාපන කටයුතු නිසි අයුරින් සිදුකළත් ඇයට සරසවි වරම් හිමිකර ගැනීමට නොහැකි වූවාය. දෙමාපියන් ඒ පිළිබඳව දුක් වුවත් ඇයගේ සිතේ ඒ පිළිබඳව කිසිදු දුකක් ඇති නොවුණි. ඒ පිළිබඳව දෙමාපියන් විමසන විට ඇය පැවසුවේ ‘‘අම්මේ ජීවිතය ජය ගන්න කැම්පස් යන්න ඕනෙම නැහැ’’ කියාය.

පාසල් වියේ සිට ඇය තවත් දෙයකට ඇලූම් කළාය. ඒ රූපලාවන්‍ය ශිල්පයටයි. සරසවි වරම් අහිමි වූ ඇය එම අංශයෙන් ඉදිරියට යෑමට තීරණය කළාය. ඒ අනුව සෙව්වන්දි රූපලාවන්‍ය පාඨමාලාවක් හැදෑරුවාය. වසරක් සාර්ථකව එම පාඨමාලාව හැදෑරූ ඇය අවසානයේ ඩිප්ලෝමා සහතිකයක්ද ලබා ගත්තාය.

වසර ගණනක් ඇය යහළුවකුගේ රූපලාවන්‍යාගාරයක සේවය කළාය. ඒ අත්දැකීම් පටන් ගැනීම සඳහාය. අවසානයේ ඇය සාර්ථකව අත්දැකීම් ලබා ගත්තාය. එහි ප‍්‍රතිඵලය වූයේ ඇය මෙරට තවත් එක් සාර්ථක රූපලාවන්‍ය ශිල්පිනියක වීමයි.

කලක සිට ඇයගේ සිතේද දැඩි ආශාවක් තිබුණි. තමන්ගේම කියා රූපලාවන්‍ය ආයතනයක් දමා ගැනීමටයි. එයට දැන් කාලය එළැඹී ඇතැයි ඇයට සිතුණි. ඒ අනුව කොළඹ නගරයේම එක්තරා ස්ථානයක සෙව්වන්දි තමන්ගේම කියා රූපලාවන්‍ය ආයතනයක් පටන් ගත්තාය.

මාස කිහිපයක් ගතවිය. දක්‍ෂතාව නිසාම ඇයගේ රූපලාවන්‍ය ආයතනය එම ප‍්‍රදේශය පුරා ඉතා ජනප‍්‍රිය විය. කාන්තා කොණ්ඩය හැඩගැන්වීමේ සිට මනාලියන්ට ඇන්දවීම දක්වා නොයෙක් ආකාරයේ සේවාවන් සෙව්වන්දිගේ රූපලාවන්‍ය ආයතනයෙන් ලබා ගැනීමට හැකිවිය. 

පාරිභෝගිකයෝ වැඩිවීමත් සමගම ඇයගේ අතමිටද සරුවිය.

සෙව්වන්දි නවීන විලාසිතාවලට දැක්වූයේ දැඩි උනන්දුවකි. උපතින්ම ලැබුණු සුන්දරත්වය ඇය තවත් ඔප්නංවා ගත්තේ එම විලාසිතාවන් නිසාය. සෙව්වන්දිගේ සුන්දරත්වයට වශීවූ විවිධ තරාතිරම්වල තරුණයන් ඇයගේ ආදරය පැතූහ. එහෙත් ඒ කිසිවෙකුටත් ඇය කැමැත්තක් නොදැක්වූවාය. එයට විශේෂ හේතුවක්ද තිබුණි. ඒ මීට පෙර අවස්ථා දෙකකදී ඇය ආදරයෙන් පරාජය වී තිබුණු නිසාය.

කාවින්ද මෙරට ප‍්‍රසිද්ධ සමාගමක ඉහළ නිලයක් දැරූ අයෙකි. ඔහු විවාහකයෙකි. එක්දරු පියෙකි. එහෙත් සමාජයේ හැසිරුණේ අවිවාහකයකු මෙන්ය. ඔහු කාන්තාවන්ට විශේෂිත ඇල්මක් දැක්වූ පුද්ගලයෙකි. තම ආයතනයේ තරුණියන් කිහිප දෙනකු සමගද ඔහු මීට පෙර අනියම් සබඳතා ගොඩනගා ගෙන තිබුණි. මුහුණට නොකීවත් එම ආයතනයේ තරුණියන් මොහුව හැඳින්වූයේ කුකුළා යන අන්වර්ථ නාමයෙනි.

ස්ත‍්‍රී ලෝලියකු වූ කාවින්දට උපතින්ම කාන්තාවන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් තිබුණි. ඔහු එයින් උපරිම ප‍්‍රයෝජන ගත්තේය. සමහර යහළුවෝ කාවින්දව තම නිවෙස්වලට පවා ගෙන්වා ගත්තේ නැත. ඒ ඔහුගේ තරම දන්නා නිසාය.

දිනක් එක්තරා ස්ථානයකදී කාවින්දට සෙව්වන්දිව දැන හඳුනා ගැනීමට ලැබුණි. සෙව්වන්දි දුටු පළමු තත්පර කිිහිපයේදීම ඔහුට ඇය ගැන කාම සිතක් පහළ විය. ඇයව මගේ කර ගන්නට ඇත්නම් කොතරම් අගේද ඔහුට සිතුණි. එලෙස සිතා ඔහුගේ සිතින් ඇයව දූෂණය කළේය. 

සෙව්වන්දිගේ පළමු දැන හැඳින ගැනීම සුන්දර එකක් කරගත යුතු යැයි කාවින්දට සිතුණේය. එලෙස සිතමින් ඔහු ඇය සමග බලහත්කාරයෙන් මෙන් කතාවකට මුල පිරුවේය.

ඒ මෙලෙසින්ය.

‘නංගි මම ඔයාව අදමනේ දැක්කේ. ඔයා ගොඩක් ලස්සනයි.’ සුරංගනාවික් වගේ’

ඔහු එලෙස පැවසුවේ ඇය ඇත්තටම ලස්සන නිසා වුවත් යටි සිතේ වෙන දෙයක් අරමුණු කර ගනිමින්ය. ඒ ඇයගේ සිත සතුටු කර තවදුරටත් ඇය සමග කතාබහ කිරීමටයි.’

‘තෑන්ක්ස් අයියා’

එයට රැවටුණු ඇයද පෙරළා එලෙස පැවසුවාය.

‘නංගි මම කාවින්ද ගුණසේකර. පදිංචිය කොළඹ 11’’

‘ආ ඇත්තද අයියේ.’

‘එතකොට නංගිගේ නම මොකක්ද?’

‘මම සෙව්වන්දි’

‘ලස්සන නමක්නේ. මූණ බලලම දාලද කොහෙද?’

‘ඔයා නම් ගැහැනු වර්ණනා කරන්න දන්නවා හොඳට’

‘අනේ නැහැ නංගී. ඇත්තටම මම කිව්වේ ඔයා වගේම ඔයාගේ නමත් ලස්සන නිසා. සත්තයි.’

‘එය අසා ඇය සිනාසුණාය. එලෙස සිනාසී සිත යටින් සතුටු වූවාය. ඒ තමන්ගේ ලස්සන වර්ණනා කරන නිසයි. ඇයගේ එම සිතුවිලි බිඳිමින් යළි කාවින්ද මෙලෙස පැවසුවාය..

‘ඔයා කොහෙද ඉන්නේ. මොනවද කරන්නේ.’

සෙව්වන්දි ඒ සියල්ලටම පිළිතුරු දුන්නාය. අවසානයේ දෙදෙනා අතර ලොකු මිත‍්‍රත්වයක් ගොඩනැගුණි. කාවින්ද තමාගේ විවාහය හැර බොහෝ තොරතුරු එම අවස්ථාවේදීම ඇයට පැවසුවේය. අවසානයේ දෙදෙනා ජංගම දුරකථන අංකද මාරුකර ගත්හ.

එදින කාවින්ද සෙව්වන්දිගෙන් සමුගත්තේ තව ටික වෙලාවක් ඇය සමග සිටියා නම් හොඳ යැයි සිතමින්ය. ඒ පිළිබඳ සියුම් දුකක්ද ඔහුගේ සිතේ හට ගත්තේය. එහෙත් හමුවූ දිනම ඇයගේ ජංගම දුරකථන අංකය ඇතුළු සියලූ විස්තර බොහොමයක් දැන ගැනීම පිළිබඳව ඔහු සිටියේ සතුටින්ය. එදින නිවසට පැමිණි ඔහු බිරිඳ සහ දරුවා සමග වැඩි කතා බහක් ද කළේ නැත. ඒ සෙව්වන්දිට වශීවී සිටීම නිසාය. පසු දිනම ඇයට දුරකථන ඇමතුමක් ලබාගත යුතු යැයි සිතා ඔහු නින්දට ගියේය.

පසුදින උදාවිය. නිවසින් එළියට පැමිණි විගසම ඔහු කළේ සෙව්වන්දිට දුරකථන ඇමතුමක් ලබාගෙන සුවදුක් විමසීමයි. එතැන් පටන් දිනපතාම පාහේ ඔහු සෙව්වන්දි සමග විවිධ දෑ කතා කළේය. ඒ බොහෝ අවස්ථාවල ඔහු සිදුකළේ සෙව්වන්දිව වර්ණනා කිරීමයි. ඇය එයට කැමැති විය. එම නිසා සමහර අවස්ථාවලදී කාවින්දගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනතුරු ඇය බලා සිටියාය.

දින සති ගණන් එලෙස ගතවිය. දිනක් කාවින්ද නොකියාම සෙව්වන්දිගේ රූපලාවන්‍ය ආයතනය පිහිටි ස්ථානයට පැමිණියේය. ඒ වටිනා කියන තෑගිබෝගද රැගෙනයි. එදින පැය ගණනක් ඔවුන් දෙදෙනා බොහෝ දේවල් කතාබස් කළහ.

සෙව්වන්දිගේ සිතේද කාවින්ද ගැන අමුතුම පැහැදීමක් තිබුණි. එය ආදරයක්ද ළෙන්ගතුකමක්ද කියා පැවසීම ඇයටද නොහැකි විය. 

කාලය කෙමෙන් ගෙවී ගියේය. ඒ හා සමානව දෙදෙනා අතර සම්බන්ධතාවය වැඩිවිය. කාවින්ද තමා විවාහක එක්දරු පියකු බව ඇයට ඇගවූවේ නැත. ඔහු නිවසේදී පවා තම බිරිඳට හොරෙන් සෙව්වන්දිට දුරකථන ඇමතුම් ලබා ගත්තේය. නිතරම ඇයගේ දුක සැප සොයා බැලූවේය. ඒ වන විට සෙව්වන්දිගේ සිතේ කාවින්ද ගැන ආදරයට සමාන හැගීමක් ඇතිවී තිබුණි. එහෙත් ඇය එය කාවින්දට එක්වරම පෙන්නුවේ නැත.

ස්ත‍්‍රීන් රැවටීම පිළිබඳ හසළ දැනුමක් තිබූ කාවින්දට එය වසන් කළ නොහැකි විය. ආදරය ප‍්‍රකාශ කිරීමට නියමිත මොහොත දැන් එළැඹී ඇති බව ඔහු තේරුම් ගත්තේය. ඒ අනුව සුදුසු වේලාවක් බලා කාවින්ද ඇයට තම ආදරය ප‍්‍රකාශ කළේය. සෙව්වන්දි සිටි තත්ත්වය අනුව ඇයට එය ප‍්‍රතික්ෂේප කළ නොහැකි විය. ඒ අනුව ඇය පෙරළා කාවින්දට ආදරය ප‍්‍රකාශ කළාය.

එතැන් සිට දෙදෙනා පෙම්වතුන් බවට පත්වූහ. සෙව්වන්දිට කාවින්දගෙන් තොර ලොවක් නොමැති විය. ඇය හදවතින්ම ඔහුට ආදරය කළාය. එහෙත් කාවින්ද ඇයට පෙන්වූයේ බොරු ආදරයකි. ඒ තමාගේ සිතේ ඇය පිළිබඳව තිබූ කාමුක ආශාවන් සහ අනෙක් දෑ ඉටුකර ගැනීම සඳහාය.

බොරු ආදරයක් පෙන්වූ කාවින්ද වැඩි කල් නොගොස් තමාගේ ආශාවන් ඇයගෙන් ඉටුකර ගත්තේය. ඒ කිසිවක් නොදත් ඇය තම පෙම්වතා වූ කාවින්දට ජීවිතයේ වටිනාම දේවල් පවා පරිත්‍යාග කළේ ඔහු ගැන ලොකු විශ්වාසයක් තබාගෙනයි.

කලක් එලෙස ගතවිය. දැන් කාවින්දට ඇයගේ ආදරයෙන් සහ සිරුරෙන් කිසි වැඩක් නොවුණි. ඉන් පසු ඔහු ඇයගෙන් මුදල් ලබා ගැනීමට සැලසුම් කළේය. ඒ අනුව ඔහු බොරු හේතු පවසා අවස්ථා කිහිපයකදීම ඇයගෙන් රුපියල් ලක්‍ෂ 20 කට වඩා අධික මුදලක් ලබා ගත්තේය. මුදල් ඉල්ලූ සෑම අවස්ථාවකදීම ඇය කිසිදු පැකිළීමකින් තොරව ඔහුට මුදල් ලබා දුන්නාය. ඒ ඔහුට තිබූ ආදරය සහ විශ්වාසය නිසාය.

සෙව්වන්දි රවටා ලබාගත් මුදල්වලින් වැඩි කොටසක් ඔහු වියදම් කළේ වෙනත් කාන්තාවන් සඳහාය. තව තවත් ඔහු සෙව්වන්දිගෙන් සල්ලි ඉල්ලූවේය. ඒ වන විට ඇය සන්තකයේ තිබූ සියලූම මුදල් පාහේ ඔහුට දී තිබුණි. අවසානයේ ඇය කාවින්දට පැවසුවේ ‘මගේ ළග තියෙන සල්ලි සේරම දැන් ඔයාට දීලා තියෙන්නේ. තව දෙන්න සල්ලි නැතැයි’ කියාය. එතැන් සිට ක‍්‍රමයෙන් ඔහු සෙව්වන්දිව මගහැරීමට පටන් ගත්තේය.

කාවින්දගේ වෙනස්වීම සෙව්වන්දිට හොඳාකාරවම දැනුණි. ඒ පිළිබඳ ඇය නිරතුරුවම ඔහුගෙන් විමසුවාය. එහෙත් ඔහු කළේ එයට කිසිදු ප‍්‍රතිචාරයක් නොදැක්වීමයි. අවසානයේ ඔහු ඇය අතහැර දමා ගියේය. තමා පණමෙන් ආදරය කළ පෙම්වතා හැරදමා යෑම ඇයට දරාගත නොහැකි විය. වේදනාවෙන් පිරුණ ඇයගේ සිත සැනසීමට කිසිවෙකුටත් නොහැකි විය. ආදරය පමණක් නොව ඇය දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් ද ඔහු රැගෙන ගොසින්ය.

දින කිහිපයක් ඇය ඒ පිළිබඳව කල්පනා කළාය. අවසානයේ ඇය කාවින්ද සොයාගෙන යෑමට තීරණය කළාය. ඔහු පැවසූ සමහර තොරතුරුවලට අනුව ඇය ඔහු ඉන්නා ස්ථානය ඉතා අමාරුවෙන් සොයා ගත්තාය. එහිදී ඔහු පියකු බව දැන ගන්නට ලැබුණි. තමා වංචනිකයකුට හසුවී ඇති බව ඇය දැනගත්තේ එවිටයි. ඒ වන විටත් ඇය එම වංචනිකයාට තමාගේ ආදරය මුදල් ආදී බොහෝ දේ දී තිබුණි.

අන්ත අසරණ වූ ඇය එම වංචනිකයාට නිදහසේ සිටීමට ඉඩ දුන්නේ නැත. ඇය නීතියේ පිහිට පැතුවාය. එම වංචනික පුද්ගලයා තමාට කරපු කියපු සෑම දෙයක්ම අකුරක් නෑර ඇය පොලිසියට පැවසුවාය. ඒ අනුව පොලිස් නිලධාරීහු කාවින්ද අත්අඩංගුවට ගත්හ. ඒ නීතියෙන් දඬුවම් පැමිණවීම සඳහාය.

ගයාන් සමරසිංහ