“නව සන්ධානය ගොඩනගනවාද? නැද්ද?” – අවසන් තීරණය ‌මේ සතියේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනගන නව සන්ධානය සම්බන්ධයෙන් මේ වනවිට ගැටළුකාරී තත්වයක් මතුව ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය දරන්නේ පරස්පර විරෝධි අදහස්.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉකුත්දා සංවිධාන කළ ‘‘ඉවසුවා ඇති’’ ජන රැළියටද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ වී නොමැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් සහභාගී වූයේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පැවසුවේ තම කණ්ඩායමට එම රැළිය සඳහා ආරාධනා නොලැබුණු බවයි.

මේ වනවිට හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වයත් සමග නව සන්ධානය ගොඩනැගීමට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි දිනවල දී පැවැත්වීමට ද නියමිතයි. එහිදී මෙම සන්ධානය ගොඩනගනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල ප‍්‍රකාශ කළේ.

ගොඩනැගෙන ආණ්ඩු විරෝධි  ඕනෑම සන්ධානයකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දීමට සූදානම් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර ද ඊයේ (10) ප‍්‍රකාශ කළා.

කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ප‍්‍රකාශ කළේ තම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බවයි.

එහෙත් එවැනි එකගතාවකට මෙතෙක් පැමිණ නොමැති බවයි පසුව පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා පැවසුවේ.