රටම කම්පා කරමින් ජීවිතයට සමුදුන් පොලිස් ස්ථානාධිපතිගේ මව සහ දියණිය කියන සංවේදී කතාව..!

බම්බලපිටිය ඩුප්ලි බුලර්ස් හංදියේදී පසුගිය පෙබරවාරි මස 24 වෙනිදා අලුයම සිදුවූ රිය අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටියදී මියගිය බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා ගේ අවසන් කටයතු අද (11) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු‌කෙරුනා .

නොසිතූ මොහොතක සිදුවුන සිදුවුන මෙම  අනතුර නිසා කම්පනයට පත්ව සිටින පොලිස් ස්ථානාධිපතිවරයාගේ දියණිය වන  සචී දෙව්මිණි සරත්චන්ද්‍ර කියා සිටියේ තම පියා අහිමි වීම සිය පවුලටම මුළු ලෝකයම නැතිවුනා සේ සමාන බවයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ඇය ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්.

‘‘පෙබරවාරි 23 දා රාත‍්‍රියේ නිවසට පැමිණි තාත්තා 24 දා අළුයම 3.00 ට විශේෂ රාජකාරියකට යන්න තියනවා කියා අම්මා ලවා කෑම උයවාගෙන වේලාසනින් කාලා නිදා ගත්තා. රාත‍්‍රියේ අම්මා තේ හදල දීලා නිදියගෙන තිබෙනවා. අපි නිදියගෙන ඉද්දීම රාත‍්‍රී 2.30 ට විතර තාත්තා දොරත් වසාගෙන ගිහිල්ලා. එහෙම ගියපු තාත්තා එදින රිය අනතුරකට ලක්වී මාර්තු 9 වැනිදා මියයාම මට විතරක් නොවෙයි අපේ පවුලේ කාටත් මුළු ලෝකයම නැතිවුණා වගේ.

‘‘එදා රාත‍්‍රී නිවසින් යන්න කලින් තාත්තා මගේ ලොකු අයියා සමග ගොඩක්වෙලා හිනා වෙවී කථාකරමින් ඉඳල තියෙනවා. 24 දා උදේ 7.00 ට විතර බොරැල්ල පොලිසියෙන් මේ අනතුර ගැන අයියාට කථා කරල කීවා. ඒ සමගම පොලිස් නිලධාරීන් දෙදෙනකු සමග පැමිණි රථයෙන් අපි රෝහලට ගියා. ඒ යන විට තාත්තාගේ ඔලූව රෙදිවලින් ඔතා තිබුණා. කකුල් දෙකත් ලොකුවට තුවාල වී තිබුණා. අපි දැක්කේ තාත්තාට ඒ වනවිටත් සිහිනැතුව වගෙයි කියලයි. අපි ඊට පසුව වරින්වර රෝහලට ගියත් තාත්තා සමග කථා කරන්න බැරිවුණා.

මාර්තු 9 දින සවස 3.00 ට විතර තාත්තාගේ හෘද ස්පන්දනය නැතිවෙලා. වෛද්‍යවරු එය නැවත යථාතත්ත්වයට පත්කර තිබෙනවා. වකුගඩු දෙකම නරක්වී ඇති බවත් වෛද්‍යවරු කීවා. එදාත් අපි කවුරුත් රෝහලට ගියා. වෙනදා අපිත් එක්ක කථා කරකර හිටිය හෙද නිලධාරින් එදා අපි දිහා බැලූවේ නෑ. අපිට පිටුපාලයි හිටියේ. අපි දැනගත්තා තාත්තා නැතිවෙලා කියලා.

එසේම පොලිස් පරීක්‍ෂක සරත්චන්ද්‍ර මහතාගේ මව වන විශ‍්‍රාමික උප තැපැල් ස්ථානාධිපතිනියක වූ ඩබ්. කරුණා මහත්මිය තම පුතාගේ හදිසි වියෝව පිළිබඳ හැඬූ කඳුලින් යුතුව ප්‍රකුශ කළේ මෙවැනි අදහසක්.

‘‘ අපේ ගම හිඟුරක්ගොඩ මැදිරිගිරිය. 1967 ජුනි 08 වැනිදායි මේ පුතා ලැබුණේ. පුතා ඉගෙන ගත්තේ මින්නේරිය මධ්‍ය මහා විද්‍යාලයේ. පාසල් යද්දී කැඩෙට් නිලධාරියකු ලෙස හිටියා. උසස් පෙළ විභාගයෙන් පස්සේ 1985 දී පුතා දෙවෙනි ලූතිනන් වරයෙක් ලෙස යුද හමුදා සේවයට බැඳුනා. එහි වසරක් සේවය කිරීමෙන් පස්සෙ උප පොලිස් පරීක්‍ෂකවරයෙක් විදිහට පොලිස් සේවයට බැඳුනා.

මින්නේරිය, හිඟුරක්ගොඩ, කොටුව යන පොලිස් ස්ථානවල සේවය කරමින් ඉඳලා බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති වෙලා හිටියේ මාස දෙකයි. මිය යද්දී පුතාගේ වයස අවුරුදු 51 යි. මගේ මේ පුතාට එක දියණියක් හා පුතාලා දෙන්නෙක් ඉන්නවා. 1991 දී මගේ පුතා විවාහ වුණේ හිඟුරක්ගොඩ අනෝමා පි‍්‍රයදර්ශනී මෙනෙවිය සමගයි.

පුතා මාව බලන්න මාසෙකට වරක් එනවා. අන්තිමට ආවේ ජනවාරි 23 දා. මම රෝහලට එක්කන් ගිහින් බේත් අරන් දුන්නා. ආපහු කොළඹ ආවේ මට වැඳලයි. ඒ වෙලාවේ කීවා නැවත පෙබරවාරි 27 අම්මා බලන්න හිඟුරක්ගොඩ එනවා කියලා. නමුත් ඊට කලින් මේ අනතුර සිදුවුණා.

මම කියන්නේ මේ වගේ දුකක් විපතක් කිසිම කෙනෙකුට සිද්ධ වෙන්න එපා කියලයි. පොලිස් නිලධාරියකුට මේ වගේ සිදුවුණා නම් සාමාන්‍ය පුරවැසියෙකුට කෙසේ සිදුවේද කියා හිතාගන්න පුළුවන්. අවිනීත ලෙස රිය පදවන අයට දඬුවම් දැඩි කළ යුතුයි. පවුලක් විතරක් නොවෙයි පවුලට සම්බන්ධ සියලූ ඥාති පරපුර මේ අනතුරින් අනාථ වුණා.