එජාප පසුපෙළ 40ම බලුවෙද්දී ජනපති වැය ශීර්ෂය ඒකමතිකව සම්මත උනේ මෙහෙමයි !

ජනාධිපති වැය ශීර්ෂය ඡන්දය විමසීමකින් තොරව ඊයේ පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වීම නිසා එ.ජා.ප.යේ මන්ත්‍රි කණ්ඩායමක් ජනාධිපති වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය දී පරාජය කරන බවට ගෙන ගිය ඝෝෂාව පුස් වෙඩිල්ලක් බවට පත් විය.

හේෂා විතාරණ, මහින්ද විජේසිරි, මුජිබර් රහුමාන්, සරත් ෆොන්සේකා, හෙක්ටර් අප්පුහාමි, තුෂාර ඉඳුනිල්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු එ.ජා.ප. මන්ත්‍රිවරුන් පිරිසක් පුන පුනා කීවේ කවුරුන් බලපෑම් කළත් තමන් ගත් තීරණය ක්‍රියාත්මක කරන බවයි.

මේ පිරිසෙන් කිහිපදෙනකු වැය ශීර්ෂයට එරෙහිව ඡන්දයක් අවශ්‍ය යැයි ඉල්ලීමක් කළත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ඉල්ලීම පාර්ලිමේන්තුවේදී ප්‍රතික්‍ෂේප කිරීමෙන් එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම වාෂ්ප වී ගිය සෙයක් ප්‍රදර්ශනය විණි.

ජනාධිපති වැය ශීර්ෂය කාරක සභා අවස්ථාවේ විවාද වෙද්දී සරත් ෆොන්සේකා මහතා උජාරුවෙන් ප්‍රකාශ කළේ මේ වැය ශීර්ෂයට විරුද්ධව තමා ඡන්දය දෙන බවයි. එසේ වුවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය හමුවේ ඔහුගේ වීරත්වය ද හකුළා ගන්නට සිදුවිය.

අග්‍රාමාත්‍යවරයා ඡන්දයක් පැවැත්වීම අනවශ්‍ය බව කථානායකවරයාට දැනුම් දීමෙන් පසු ජනාධිපති වැය ශීර්ෂය ඇතුළු වැය ශීර්ෂ ම ඒකමතිකව සම්මත විය.

ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරන ව්‍යාපාරයේ පෙරමුණ ගෙන සිටි හේෂා විතාරණ ප්‍රකාශ කර තිබුණේ ඔහු සමඟ එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රිවරුන් 40ක් වැය ශීර්ෂය පරාජය කිරීමට එකතු වී සිටින බවයි.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තු ලොබියේ රූපවාහිනිය ඔස්සේ විවාදය නරඹමින් සිටියේ ජනාධිපති වැය ශීර්ෂයට ඡන්දය විමසීමක් සිදුවුවහොත් එයට පක්‍ෂව ඡන්දය දීමට සූදානමකිනි.

ජනාධිපති, අගමැති කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය, ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලය, විපක්‍ෂ නායකවරයාගේ කාර්යාලය, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික විගණන කොමිෂන් සභාව, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය, විගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව යන වැය ශීර්ෂවලට අදාළව අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ දිනය පුරා පැවැත්විණි.

ඊයේ (13දා) රාත්‍රි 7.00ට මේ සදහා වන ඡන්ද විමසීම පැවැති අතර ජනපති වැය ශීර්ෂය සඳහා ඡන්දයක් අවශ්‍ය බවට එ.ජා.ප. මන්ත්‍රිවරු පිරිසක් දැඩිව ඉල්ලා සිටියහ.

අය-වැය තුන්වැනි වර කියැවීමේ විවාදය අද (14දා) පෙරවරු 9.30ට ආරම්භ වන අතර අගමැති රනිල් වික්‍රමසිංහගේ අමාත්‍යාංශය වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදය පැවැත්වේ.

ඒකමතිකව ජනාධිපති වැය ශීර්ෂය සම්මත වේ

ජනාධිපති වැය ශීර්ෂයට එරෙහිව එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රිවරුන් ඡන්දයක් අවශ්‍ය යැයි කළ ඉල්ලීම අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (13දා) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්‍ෂේප කළේය.

අනතුරුව එම වැය ශීර්ෂය ඇතුළු වැය ශීර්ෂ 25ම ඡන්දයකින් තොරව ඒකමතිකව සම්මත විය.