අක්‍රියව තිබූ FACEBOOK යථා තත්ත්වයට !

ලොව පුරා බිඳ වැටී තිබූ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කළ බව එම සමාගම පවසයි.

එහි ප්‍රකාශකයා පැවසුවේ, අර්ධ වශයෙන් බිඳ වැටී තිබූ ෆේස්බුක් සමාගමට අයත් වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් හා මැසෙන්ජර් යන ඇප්ස් ද මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ය.

ඊයේ සිට පැය 24ක පමණ කාලයක් මෙම බිඳ වැටීම පැවති බවට ලොව රටවල් රැසක ගිණුම් හිමියන් පැමිණිලි කර තිබිණි.

එම සමාගමේ ප්‍රකාශකයා උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කළේ, ෆේස්බුක් වෙබ් අඩවියේ සිදු කළ යාවත්කාලීන කිරීමක් නිසි පරිදි සිදු නොවීම මෙම බිඳ වැටීමට හේතුව බව ය.

මේ හේතුවෙන් බොහෝ ගිණුම් හිමියන්ට තම සමාගමේ ඇප්ස් වෙත පිවිසීමට නොහැකි වූ බව ෆේස්බුක් ආයතනය පවසයි.

මෙම බිඳ වැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක් බවට පළ වන වාර්තා ද ෆේස්බුක් ආයතනය තරයේ ප්‍රතික්ෂේප කළේ ය.

මේ අතර ෆේස්බුක් ආයතනයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වී ඇතැයි එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් නිවේදනය කර තිබේ.

විදෙස් වාර්තා අනාවරණය කළේ, ෆේස්බුක්හි නිෂ්පාදන ප්‍රධානී ක්‍රිස් කොක්ස් හා වට්ස්ඇප් ආයතනයේ ප්‍රධානී ක්‍රිස් ඩැනියෙල්ස් මෙලෙස ඉල්ලා අස්වී ඇති බව ය.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනාගේ ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැත.

ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය පෞද්ගලිකත්වය වඩාත් සුරක්ෂිත වන අන්දමේ වෙබ් අඩවියක් බවට පත් කිරීමට සකර්බර්ග් සැලසුම් ඉදිරිපත් කිරීම හමුවේ මෙම ඉල්ලා අස්වීම සිදුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.