මිනිස්සු බස් එක ඇතුළේ කෑ ගහනවා – ඇල්පිටියේ පිස්සා බස් රථය එලවන් යන වීඩියෝව මෙන්න..!

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මගීන් ද සහිතව කිසියම් පුද්ගලයෙකු පැහැර ගත් පුවතක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පසුව අදාළ පුද්ගලයා අල්ලා පොලිසියට භාරදීමට පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් සහ ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

ගාල්ල උඩුගම සිට ඇල්පිටිය හරහා මීගමුව දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අදාළ බස් රථය ඊයේ පස්වරු 4 ට පමණ ඇල්පිටිය බස් නැවතුම්පලට ළගා වී තිබුණා.

එහිදී බස් රථය බස් නැවතුම්පලේ නවතා එහි රියදුරු සහ සහයකයා තේ පානය සදහා පිටව ගොස් තිබෙනවා.
ඒ අතරතුර  බස් රථයට ගොඩ වූ පුද්ගලයෙකු මගීන් ද  සිටි එම බස් රථය පදවාගෙන ගොස් තිබෙනවා.

එය බස් නැවතුම්පළේ සවිකර තිබූ ආරක්ෂක කැමරා දර්ශනවල මෙලෙස සටහන්ව තිබුණා.

වෙළෙන්දෙක් :  “උඩුගම ඉඳලා බස් එක මීගමු යන්න මෙතන ගැහුවා. විනාඩි 5 ක් යන්න හම්බුනේ නැහැ තව කෙනෙක් නැග්ගා බස් එක අරන් ගියා”..

පෞද්ගලික බස් රථ සහයකයෙක් : “බස් එක වද්දගෙන එක පාරට හයියෙන් ගියා කොළඹ පැත්තට. මමයි රියදුරු මහත්තයායි ත්‍රි විලර් එකක් අරගෙන බස් එක පස්සේ ගියා.  ටිකක් දුරදී රියදුරු මහත්තයාට මම කිව්වා බැහැලා බස් එක පස්සේ දුවන්න කියලා. අපේ ඩ්‍රයිවර් මහත්තයා කොහොම හරි අන්තිම මොහොතේදී එල්ලුණා පිටිපස්සෙන් ගිහිල්ලා පුඩ් බෝඩ් එකේ”.

පෞද්ගලික බස් රථ රියදුරෙක් : “බස් එක පස්සේ කිලෝමීටර් 2 ක් විතර අපි ත්‍රිවිලර් එකෙන් එළෙව්වා. මිනිස්සු බස් එක ඇතුළේ කෑ ගහනවා. මං බොහොම අමාරුවෙන් නැග ගත්තා බස් එකට. නැගලා ඉවර වෙලා මං කළේ එක පාරක් ගැහුවා එයාට. ගහනකොටම බස් එක එතනම නැවතුනා. ඊට පස්සේ හෑන්ඩ් බ්‍රේක් ගහලා බස් එක නවත්වලා කට්ටියට කෑ ගහලා කතා කරලා අරගෙන ඒ පුද්ගලයා රියදුර අසුනෙන් බස්සවගන්න හුඟක් වෙහෙස දැරුවා”.

“එහෙන් කෑ ගහනවා මෙහෙන් කෑ ගහනවා. මිනිස්සු පිරිලා මෙතන මහා කලබැගෑනියක් වෙලා. පස්සේ බලනකොට මේ බස් එක මගී ජනතාවත් එක්කම පැහැරගෙන යනවා. බස් එක පාර හරහා අර තාප්පෙත් වදින්න ගියා. මහා විනාශයක් වෙනවා තව පොඩ්ඩෙන් ඉස්සරහ ආව ඔක්කොම කුඩේ කුඩු වෙනවා”.

අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව සැකකරු ඇල්පිටිය පොලිසියට භාරදී තිබෙනවා.

මානසික රෝගයකින් පෙළෙන බවට වාර්තා වන 39 හැවිරිදි අදාළ සැකකරු ගාල්ල නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙසද ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා නියෝග කර තිබෙනවා.

Leave a Reply