එහෙම ව්‍යාපෘතියක් ලංකාවට දුන්නේ නෑ,බොරු කරන්න එපා,ඕමාන රජය මංගලට උත්තර දෙයි

පසුගිය දින ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ නිවේදනයකට ඕමාන රජය පිළිතුරු දී තිබේ.

හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා වන ව්‍යාපෘතියේ ඇස්තමේන්තු වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 3.85ක් බවත් එය සිංගප්පුරුවේ ආයෝජන මත ඉන්දියාවේ වාහන නිෂ්පාදන සමාගමක් සහ ඕමාන රජයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා රජය මින් පෙර නිවේදනය කළා. මෙමගින් දෛනිකව බොර තෙල් බැරල් 200,000ක් පිරිපහදු කිරීමට හැකිවන බවටද ප්‍රකාශ කෙරුණා.

මෙම ව්‍යාපෘතියෙන් සියයට 30ක කොටසක් ශ්‍රී ලංකා රජයට හිමිවන බවත් ඉතිහාසයේ මේ දක්වා සිදුකරන ලද විදෙස් සෘජු ආයෝජනයකදී ලංකා රජයට හිමිවන ඉහළම ප්‍රතිශතය මෙය බවත් ප්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත් මෙලෙසින් බොර තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට යන බවට කියන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිය රජයේ කිසිදු දැනුවත් වීමක් නොමැති බව ඕමාන ඛනිජ තෙල් අමාත්‍යාංශය ඊයේ (20) ප්‍රකාශ කර සිටියා. ඒ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් ඉකුත්දා සිදුකරන ලද ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ ඕමානයේ ඉන්ධන සහ ගෑස් පිලිබඳ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සලිම් අල්-ඕෆී ප්‍රකාශ කර සිටියේ සිය පාර්ශවයෙන් මෙම ආයෝජනය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.

ඕමාන ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් සිදුකරන ලබන ප්‍රකාශය සම්බන්ධයෙන් සිය අවධානය යොමුවී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිනිය වන චම්පිකා මලල්ගොඩ ප්‍රකාශ කර සිටියා. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සාකච්ජා තවමත් පැවැත්වෙමින් තිබෙන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා