ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කෙරෙන යෝජනාව අද ප්‍රකාශයට පත් වෙයි

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කෙරෙන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවැත්වීමට නියමිතයි.

ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ මහ මළුවේදී ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන ලෙස ථේරවාද බෞද්ධ රටවල සාමූහිකත්වයෙන් ශ්‍රී ලංකාව, යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම මෙහිදී සිදු කිරීමට නියමිතයි.

මෙම වැඩසටහනට සමගාමීව පසුගිය 16 වනදා සිට 23 වනදා දක්වා කාලය “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර ඒ වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණේය.

අද පැවැත්වෙන ජාතික මහෝත්සවයට ත්‍රෛනිකායික මහා සංඝරත්නය, ථේරවාදී බෞද්ධ රටවල සංඝරාජ හිමිවරු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හානා සිංගර් මහත්මිය ඇතුළු දෙස් විදෙස් නියෝජිතයින් රැසක් සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.