විල්පත්තුවේ සැබෑ තත්ත්වය ගුවන් හමුදා වාර්තාවෙන් මාට්ටු.. (PHOTOS)

විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව තුළ පරිසර විනාශයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ සොයා බැලීමකදී පෙනී ගියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කළ විමර්ශන වාර්තාවක් මගින් ඒ පිළිබද සත්‍ය තොරතුරු අනාවරණය වී තිබීමය.

විල්පත්තුව සැලකෙන්නේ ලංකාවේ ඇති විශාලතම ජාතික වනෝද්‍යානයක් ලෙසයි. මෙහි එක් මායිමක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර වැඩි කොටසක් අයත් වන්නේ වයඹ පලාතටයි. මානුෂීය මෙහෙයුම් ක්‍රියාත්මක වූ කාල වකවානුවට පෙර පුත්තලම – මන්නාරම මාර්ගයේ මරිච්චකඩ්ඩි යන ප්‍රදේශයේ මුස්ලිම් පවුල් 479ක් පමණ වාසය කර ඇති නමුත් සිලාවතුර ප්‍රදේශයේ දක්වා මෙහෙයුම් ව්‍යාප්ත වීමත් සමග පදිංචිකරුවන් සියලු දෙනා වාසස්ථාන අතහැර මන්නාරම සහ පුත්තලම යන ප්‍ර දේශවලට සංක්‍රමණය වී තිබිණි. මානුෂිය මෙහෙයුමෙන් පසුව රජය මගින් ක්‍රියාත්මක කළ උතුරු වසන්තය යන සංකල්පය යටතේ නැවතත් නිවාස අතහැර ගිය පුද්ගලයින් යළිත් පදිංචි කරවා තිබිණි. මෙම ප්‍ර දේශය විල්පත්තු රක්ෂිතයට අයත් නොවන මුසලි ප්‍රාදේශිය සභාවට අයත් වූවක් වන අතර ඉඩම් මායිම් වී ඇත්තේ මෝදරගං ආරු යන ඔයෙනි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු මාවිල්ලූ, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල එකතුකොට වන සංරක්ෂණ ආඥාපනතේ ”3 අ ”වගන්තිය යටතේ මාවිල්ලූ සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සදහා වූ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය රුසියානු සංචාරය අතරතුර මොස්කව් නුවරදී අත්සන් තබා තිබිණි. ඒ 2017 මාර්තු 24 වැනිදාය.

මෙසේ ප‍්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයක මායිම වෙනස් කිරීමක් සිදු කළ යුතු නම් වන සංරක්ෂණ ආඥා පනතට අනුව එය සිදුකළ හැක්කේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් සාදන ලද නියමයක් ජනාධිපතිවරයා විසින් අනුමත කර පාර්ලිමේන්තුව විසින් සම්මත කොට එසේ සම්මත කරන දැන්වීම ගැසට් පත‍්‍රයේ පළ කිරීමෙන් අනතුරුවය. ඒ අනුව උක්ත වනාන්තරය සදහා උපරිම නීතිමය ආවරණය ලැබී එහි ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇත.

මෙම රක්ෂිත වනාන්තර, සංරක්ෂිත වනාන්තර ලෙස නම් කර ගැසට් කිරීමට පියවර ගෙන ඇත්තේ ජනතාව වෙනුවෙන් මුදාහැර ඇති ඉඩම්වලට යාබදව පිහිටි වනාන්තරවල සහ ප‍්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙනි.

අවසන් මානුෂීය මෙහෙයුම සමයේදී ගුවනේ සිට ත්‍රස්තවාදීන්ගේ මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය සියුම් ගුවන් විශ්ලේෂණ ලබා දෙමින් පාබල සහ නාවික හමුදාවන්ට අවශ්‍ය මෙහෙයුම් සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ ගුවන් හමුදාව ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමට විශාල කාර්යාභාරයක් ඉටු කළේය. එම කාර්යභාරය මැනවින් ඉටු කරමින් සිදුකළ සියුම් ගුවන් නිරීක්ෂණ හේතුවෙන් ත්‍රස්තවාදීන් මර්මස්ථාන විනාශ කිරීමට හැකිවිය. නිසිලෙස ඉටු කරන ලද එම කාර්යභාරය හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විල්පත්තු ඇතුළු සියලු වනාන්තර, නවීන තාක්ෂණය භාවිතා කරමින් ගුවනේ සිට නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සඳහා ගුවන් හමුදාවට උපදෙස් දී ලබා දී තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විල්පත්තු ජාතික වනෝද්‍යාන කලාපය දැඩි නිරීක්ෂණයට ලක් කරමින් ඊට අදාල විමර්ශන කටයුතු නිරන්තරයෙන් සිදු කර තිබිණි. එම නිරීක්ෂණ කටයුතු වලදී ගුවන් හමුදාව අදාල ප්‍රදේශ 178 වතාවක් පියාසර කර ඇත. 2015 වර්ෂයේ විල්පත්තු ප්‍ර දේශයේ වන විනාශය සිදු වන බවට පළ වූ වාර්තා සමග එම ප්‍රදේශය විශේෂ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් මගින් නිරීක්ෂණය කිරීම 2015 දෙසැම්බර් මස 22 දින සිට අද දක්වා නිරීක්ෂණ මෙහෙයුම් සිදු කර තිබේ. මේවන විට අවසන් ගුවන් ආවේක්ෂණ මෙහෙයුම් නිරීක්ෂණ වාර්තාව නිකුත් කර ඇත්තේ 2019 මාර්තු 18 වැනිදාය.

එලෙස සියුම්ව නිරීක්ෂණය කරමින් ලබා ගත් තොරතුරු අනුව 2016 වර්ෂයේදී මෙම ප්‍රදේශයේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය දැව නීති විරෝධි අන්දමින් රක්ෂිත ප්‍රදේශයෙන්ම කපා ට්‍රැක්ටර් රථ මගින් ප්‍රවාහනය කරන බවටද ගුවන් නිරීක්ෂණ තොරතුරු මගින් හෙළිවිය. කැලෑ ප්‍රදේශ තැනින් තැන ගිනි තැබීම් සිදුකරන බවටද 2016 වර්ෂයේදී සිදුකල ගුවන් හා ගොඩබිම් නිරීක්ෂණ මගින් තහවුරු වී තිබිණි. එම තොරතුරු සියුම් නිවැරදිව නිරීක්ෂණය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විල්පත්තු ඇතුළු වනාන්තර කලාපය දැඩි නිරීක්ෂණයකට ලක් කර තිබිණි. ඒ අනුව අදාල කාල සීමාව සිදුකළ එවැනි නීතිවිරෝධි ක්‍රියාවන් සම්බන්ධයෙන් ගුවන් හමුදාව අදාල බලධාරීන් දැනුවත් කර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබිණි.

ඉන් අනතුරුව දිගින් දිගටම කල ගුවන් හමුදා නිරීක්ෂණ වලදී තහවුරු වී තිබුණේ 2017 වර්ෂයේ මාර්තු මාසයේදී ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයෙන් පසුව විල්පත්තු වනාන්තර කලාපය තුළ කිසිදු වන විනාශයක් සිදු වී නොමැති බවයි. ඒ අනුව මේවන විට වන විනාශයක් සිදුව නොමැති බවට නිවැරදිව තහවුරු වන ගුවන් හමුදාව සිදුකළ සංසන්දනාත්මක ගුවන් ආවේක්ෂණ නිරීක්ෂණ ඡායාරූප පහතින් දැක්වේ.