ඉදි කිරීම් ඉබි ගමනේ.. මධ්‍යම අධිවේගයේ සිහිනය පස් වසරකින් කල් යයි..

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ අගෝස්තු මාසයේ නිම කිරීමට නියමිතව තිබුණද එහි ඉදිකිරීම් කටයුතු නිම කිරීමට තවත් වසර 4-5ක් පමණ ගතවනු ඇතැයි අනාවරණය වේ.

ඒ , එහි පළමු කොටස වන කඩවත – මීරිගම හා තුන්වැනි කොටස වන පොතුහැර – ගලගෙදර යන කොටස්වල ඉදිකිරීම් මේ වන විටත් ප්‍රාථමික මට්ටමේ පැවතීම හේතුවෙනි.

මෙම මාර්ගය කඩවත – මීරිගම, මීරිගම – පොතුහැර හා පොතුහැර – ගලගෙදර වශයෙන් කොටස් තුනකට වෙන්කර 2016 දී වැඩ ආරම්භ කළ අතර දේශීය උපකොන්ත්‍රාත් සමාගම් විසින් ඉදිකිරීම් කටයුතු භාරගත් මීරිගම – පොතුහැර දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සියයට 95ක් පමණ නිමකර තිබේ.

එහෙත් ජපන් හා චීන සමාගම් ඉදිකිරීම් කටයුතු භාරගත් කඩවත – මීරිගම හා පොතුහැර – ගලගෙදර යන කොටස් දෙකේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් මූලික මට්ටමේ පැවතීම හේතුවෙන් ඒවායේ ඉදිකිරීම් කටයුතු නිමවන නිශ්චිත දිනයක් සඳහන් කළ නොහැකි බව මහමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසුවේය.

පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කිලෝමීටර් 32 ක දුර ප්‍රමාණය ඉදිකිරීම් සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාදීමට ජපන් රජය එකඟ වුවද එම ණය මුදල සම්බන්ධයෙන් පනවා ඇති කොන්දේසි හේතුවෙන් එම ණය මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැන නැඟී ඇතැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතියට අදාළව අල්ලස්, දූෂණ හෝ අක්‍රමිකතා වාර්තා වුවහොත් මෙම ව්‍යාපෘතිය අවලංගු කර ණය මුදල ආපසු ලබා ගැනීම සඳහා ජපානයේ බේරුම්කරණ නීතිය යටතේ ක්‍රියාකරන බවට පනවා ඇති කොන්දේසිය හේතුවෙන් මෙම ගැටුම්කාරි තත්ත්වය උද්ගතවී ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙම ණය මුදල ජපානය විසින්ම යෝජනා කළා පමණක් නොව එහි කොන්ත්‍රාත්කරු මෙන්ම උපදේශකයාද ජපාන රජය විසින් යෝජනා කර වෙනත් ණය මුදල් කෙරෙහිද බලපෑම් ඇති කළ හැකි බැවින් ඒ පිළිබඳ වෙනත් අවස්ථා ගැන සොයා බැලීමට රජයේ අවධානය යොමුවී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මේ අනුව මධ්‍යම හා කුරුණෑගල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට ඉලක්ක කළ කාලයට වඩා තවත් වසර 4-5ක කාලයක් ගතවනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු ආණ්ඩුවේ නායකයන් පැවසුවේ මධ්‍යම අධිවේගයේ මේ වසරේ අවසන් කොට පැයකින් නුවරට යාමට අවස්ථාව ජනතාවට සලසන බවයි.