අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අදයි – ශ්‍රීලනිපය අයවැයට විරුද්ධ වන ලකුණු…!

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය මේ වනවිටත් ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීමටයි තීරණය කර ඇත්තේ. කෙසේවෙතත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ. ඒ පිළිබද ඊයේ දිනයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර කණ්ඩායමේ සාකච්ඡාවක්ද පැවැත්වුණා. කෙසේවෙතත් එම සාකච්ඡාවද අවසන් වූයේ විසදුමකින් තොරවයි. 

මේ අතර අද පැවැත්වෙන අයවැය තුන්වන වර ඡන්ද විමසීම පිළිබද අවසන් තීරණයක් ගැනීම සදහා ශි‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. 
අද පැවැත්වෙන අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. 

අද දිනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම සුබවාදී තීරණයකට එළඹෙනු ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පැවසුවේ.