අලුගෝසු තනතුරට උපාධිධාරියෙකු ඇවිත්….!

මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බන්ධනාගාර අලූගෝසු තනතුර සදහා වූ පරීක්ෂණයට උපාධිධාරියකුද සහභාගි වී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසනවා. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී (3 දා) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

මෙම සම්මුඛ පරීක්ෂණයට පුද්ගලයන් 17 දෙනකු සහභාගි වී ඇති අතර, ඉන් එක් අයකු උපාධිධාරියකු බව පැවසූ මන්තී‍්‍රවරයා මෙය මේ රටේ නිදහසින් පසු ගත වූ අවුරුදු 71 ක කාලසීමාවේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අසන්නට ලැබුණු ඉතා දුක්මුසු පුවත බවත් බරපතළම ඛේදවාචකයක් බවත් කියා සිටියි.

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා ජීවත්ව සිටියා නම් මේ ප‍්‍රවෘත්තිය අසා එතුමා දිවිනසා ගැනීමටත් ඉඩ තිබුණු බව මන්තී‍්‍රවරයා සඳහන් කළේය. 

පොල් කැඞීම සිය ජීවන වෘත්තීය කර ගත් උපාධිධාරියකු පිළිබඳ පුවතක් මීට සති දෙකකට පෙර මාධ්‍යවල පළ වූ බව ද මේ රටේ උපාධිධාරීන්ට රැකියා ලබාදීම ප‍්‍රතිපත්තියක් ලෙස කි‍්‍රයාත්මක වීම මේ වනවිට අකර්මන්‍ය වී ඇති අතර මේ වනවිට රැකියා විරහිත උපාධිධාරීන් 70,000 ක් රටේ සිටින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

උපාධිධාරීන් මෙතරම් අසරණ වූ අවස්ථාවක් නැති බවත් මේ ආණ්ඩුව මේ රටේ බුද්ධිමත් දූ පුතුන් නිදහස් අධ්‍යාපනයේ මරණ මංචකයට ගෙන ගොස් ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසූවා.