ජනාධිපතිවරණය පසුපස හඹා එන තරුණ කැරැල්ල

2020 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ මීළඟ අපේක්ෂකයා කවුද? මේ දිනවල අප රටේ දේශපාලන පොර පිටියේ රැව්පිළිරැව් දී තිබෙන පැනයකි. සමහරු ගෝඨාභය රාජපක්ෂ යැයි කියති. තවත් සමහරු වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යැයි කියති. ඒ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ නම් ද ප‍්‍රකාශ වෙති.

ඒ අතර ඉඳහිට විවිධ වෘත්තිකයන් ද අන්තර්ජාලය ඔස්සේ සාදාගත් වෙබ් අඩවි ඔස්සේ තමා ද ජනාධිපතිවරණයට සුදුසු යැයි පවසති.

කෙසේ වෙතත් කවුරුන් ඉදිරිපත් වුවත් මීළඟ ජනාධිපති තෝරා පත්කර ගන්නේ මේ රටේ ඡුන්ද දායකයන්ය.

බහුතර ඡුන්දදායකයින්ගේ කැමැත්ත දිනා ගන්නා තැනැත්තා ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරනු ඇත. ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ගැන පවසනවිට මේ වන විට ප‍්‍රධාන චරිත දෙකක් බවට පත්වී ඇත්තේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුය.

එම නිසාම ඔවුන් දෙදෙනා මේ වන විට සිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු නිල නොවන මට්ටමින් ආරම්භ කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ‘එළිය’ නමැති සංවිධානය සමඟ රට ගොඩනඟන වැඩපිළිවෙළක් ගැන පවසමින් රට පුරා සම්මන්ත‍්‍රණ පවත්වමින් ජනතා කැමැත්ත දිනා ගැනීමේ උත්සාහයක නිරතවී සිටියි.

ජනාධිපතිවරයා ද මත්ද්‍රව්‍ය මැඬලීම

වකුගඩු නිවාරණය, පරිසරය රැක ගැනීම වැනි ජනතාවට ඉතා සංවේදී කරුණු ඉලක්ක කරගෙන වේගවත් ගමනක් ආරම්භ කර ඇත. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැහැදිලි ඉලක්කයක් ජනතාවට නොපෙන්වා රට සංවර්ධනය කිරීමේ වැඩ කටයුතුවල නිරතව සිටියි.

ජනාධිපති ධුරයට මෛත‍්‍රිපාල සිරිසේන මහතා පත්වීමත් සමඟ ඒ සඳහා ඕනෑම කෙනෙකුට ඉදිරිපත්ව ජයග‍්‍රහණය කළ හැකි යැයි මානසික මට්ටමින් සිටින ඇතැම් දේශපාලනඥයින් තමන් ද සුදුසු යැයි පවසමින් මාධ්‍ය හමුවේ කට මැත දොඩවති.

ඇත්තටම අපට අවශ්‍ය තවත් එක් විධායක ජනාධිපතිවරයෙක් ද එසේත් නැතිනම් රට පෙරට ගෙනයා හැකි ජනාධිපතිවරයෙක් ද කියා තීරණයක් ගැනීමේ කූටප‍්‍රාප්තිය වෙත අපි ළඟාවී සිටින්නෙමු.

මන්දයත් මේ වනවිට අප රට වැටී ඇති තත්ත්වය දෙස බලන විට තත්පර ගණනින් අන්තර්ජාලය හරහා ලොව දකින තරුණ පරපුර සිටින්නේ දැඩි කලකිරීමෙනි. ඔවුන්ගේ මතය වී ඇත්තේ මේ සාම්ප‍්‍රදායික දේශපාලනයෙන් මිදී ඉදිරි දැක්මක් සඳහා වැඩපිළිවෙළක් ඇති පුද්ගලයකු මීළඟ ජනාධිපතිවරයා ලෙස පත්විය යුතු බවය. එය කොළපාටද, නිල් පාට ද, රතු පාට ද කහ පාට ද කියා ළඝු නොකළ යුතුය.

මීළඟ ජනාධිපති ධුරය සඳහා තරග කරන සෑම අපේක්ෂකයකුම සිතිය යුතු ප‍්‍රධානතම කරුණ ද එයයි. මන්ද යත්, තරුණ අපේක්ෂාවන් ඉටු නොවූ විට සිදුවන්නේ ඔවුන් තුළ අසහනයක් ඇතිවීමය.

එය ඔවුන් පිට කරන්නේ කැරැල්ලකින්ය. එවැනි අත්දැකීම් අප රට තුළ ගෙවුණු දේශපාලන කාල පරිච්ෙඡ්දවල දක්නට ලැබිණි.

1971 සහ 1988 – 89 කාලසීමාව මතු වූ එම තරුණ කැරලි එවකට පැවැති රජයන් මැඬලූවේ අවි ආයුධ වලිනි. නමුත් ඉදිරියේදී ඇතිවිය හැකි තරුණ කැරලි එසේ අවි අයුධවලින් මැඬලිය නොහැකිය. මන්ද යත් එම තරුණ කැරලි මතුවන්නේ අන්තර්ජාලය ඔස්සේය.

මේ වන විට සමාජ ශාලා වෙඞ් අඩවි ඔස්සේ දේශපාලනඥයින්ට එරෙහිව තරුණයන් දක්වන ප‍්‍රතිචාර එම කැරැල්ලේ ආරම්භය බව සෑම දේශපාලනඥයකුම සිහි තබා ගත යුතුය. ඊට ඇති ඇති විකල්පය එම වෙබ් අඩවි අවහිර කිරීම හෝ ඊට සම්බන්ධ තරුණයින් අත්අඩංගුවට ගැනීම නොවන බව ද පැවැසිය යුතුය.

අපට අසල්වැසි ඉන්දියාවේ මේ දිනවල ඔවුනගේ මහ මැතිවරණය පැවැත්වේ. එම මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට එරෙහිව ෆේස්බුක් සමාජ ජාලා ඔස්සේ පළවන මතය වැළැක්වීමට එරට ප‍්‍රාන්ත රජයන් එවැනි ෆේස් බුක් ගිණුම් දෙසිය පනහක් අවහිර කර ඇත. නමුත් එය ප‍්‍රශ්නයට විසඳුම නොවේ. මෙලෙස දේශපාලකයන්ට අපහාස කරන්නේ ඇයි දැයි කියා විමසා බලා ඊට විසඳුම් ලබා දුනහොත් නැවත එවැනි වෙබ් අඩවි බිහිවන්නේ නැත.

නින්දා අපහාස විඳ දරා ගැනීමට නොහැකි නම් ඔවුන් දේශපාලනයට හෝ සමාජ සේවයට ගැලපෙන්නේ නැත. එසේම නින්දා අපහාස සඳහා අතිශය පෞද්ගලික කරුණු යොදා නොගත යුතු බවද මෙවැනි වෙබ් අඩවි මෙහෙයවන තරුණ පරපුර අවබෝධ කරගත යුතුය.

දේශපාලනඥයකුගේ ක‍්‍රියා කලාපය නිර්දය ලෙස විවේචනය කළ හැකිය. නමුත් ඔහුගේ ජාතිය, ආගම දෙමාපියන්, දූ දරුවන් ඈදා ගැනීම සදාචාර සම්පන්න නැත.

අප රටේ තරුණ පරපුර මීළඟ ජනාධිපතිවරණයෙන් බලාපොරොත්තුවන්නේ ඔවුනට නිදහසේ ජීවත්විය හැකි රටකි. ඒ සඳහා නවීන තාක්ෂණය රට තුළ ව්‍යාප්තව පැවැතිය යුතුය. තම සුදුසුකම අනුව රැකියාවක නිරතවීමේ පහසුකම් තිබිය යුතුය. තම හැකියාව මත රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනීමට පහසුකම් තිබිය යුතුය.

එනිසා මීළඟ ජනාධිපතිවරයා තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට මෙවැනි කරුණුද එක් කරගත යුතුය. අන්තවාදි වත්තීය සමිති වලට හෝ අන්තගාමී දේශපාලනඥයින්ට බියෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල පෞද්ගලික රෝහල් රට තුළ බිහි කිරීමට නොහැකි දුර්වලයෙක් නොවිය යුතුය.

තම පක්ෂය වටා සිටින පිරිසට පමණක්

රැකියා ලබා දෙන උසස්වීම් නිලතල ලබා දෙන මෝඩ දේශපාලනඥයකු නොවිය යුතුය. මේ රටේ සිංහල බෞද්ධයින් පමණක් නොව දෙමළ, මුස්ලිම් ජනතාවත් සිටින බවත් හින්දු සහ ඉස්ලාම් ආගම්ද පවතින බවත්, සිතා කටයුතු කළහැකි මධ්‍යස්ථ පුද්ගලයකු විය යුතුය. එසේම මේ රට බහුතර සිංහල බෞද්ධ රටක් බව ද සිහි තබා ගත යුතුය.

ලොව සාර්ථක සෑම දේශපාලනඥයෙක්ම තම රටට, ජාතියට ආගමට ගරු කළහ. අන්තගාමිත්වය රැල්ලකි. එය නැඟ එන වේගයෙන්ම බැස යයි. නමුත් මධ්‍යස්ථ බව සදාකාලිකය. එය වේගයෙන් නැඟ එන්නේ නැත. එනිසා වේගයෙන් බැස යන්නේ ද නැත

මෙය සිහි තබාගෙන ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් වේ නම් මතුවිය හැකි මීළඟ තරුණ කැරැලි මැඬලිය හැකිය. එසේ නොවුණහොත් සිදුවන්නේ ගිනි ගොඩක් මැද පිච්චි පිච්චී වද විඳින පුද්ගලයකුගේ තත්ත්වයට පත්වීමටය.