දුක් විඳල හදපු එකම පුතා අම්මගෙන් උදුර ගත්තු NDT තිරිසන්නු

ශ්වවිද්‍යාල නවක වධය නම් ම්ලේච්ඡ විකෘති මානසික ක්‍රියාවලිය තවත් මිනිස් බිල්ලක් ගත්තේය. විශ්වවිද්‍යාලයෙන් ඇරැඹී අනෙකුත් උසස් ආයතන දක්වා පැතිරී ගොස් ඇති මෙම නවක වධ ත්‍රස්තවාදය විසින් බිලි ගන්නා ලද ප්‍රථම බිල්ල මෙය නොවේ. අවසාන බිල්ලද මෙය නොවන බව පවසන්නට සිදුව ඇත්තේ ශ්‍රී   ලංකාවේ බොහෝ ප්‍රශ්නවලදී මෙන්ම මෙම ප්‍රශ්නයේදීද අශ්වයා පලා ගිය පසු ඉස්තාලය වසා දැමීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන නිසාය. 

කුරුණෑගල, කුඹුක්ගැටේ වඩුවාව පදිංචි ඩබ්ලිව්.ඩී. ශනිල්ක දිශාන් විජේසිංහ (23) විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තේරී පත්වන්නේ යාපනය විශ්වවිද්‍යාලයටය. මාස හයක් එහි අධ්‍යාපනය ලබන ශනිල්කගේ ජීවිතයේ තිබූ එක් බලාපොරොත්තුවක් වූයේ ඉන්ජිනේරුවකු වීමය. ඔහු යාපනය සරසවියෙන් හෝමාගම, දියගම පිහිටි ජාතික විද්‍යා තාක්ෂණික ආයතනයට ස්ථාන මාරුවක් ඉල්ලුම් කර එම ආයතනයට ඇතුළත් වන්නේ තම ඉන්ජිනේරු සිහිනය සැබෑ කරගැනීමේ බලාපොරොත්තුවෙනි. 

ගල්ගමුව මැදි මහ විදුහලින් මූලික අධ්‍යාපනය ලැබූ ශනිල්ක ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයෙන් අපොස සා.පෙළ තෙක් ඉගෙනුම ලබා අපොස උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරුවේ කුරුණෑගල ශ්‍රී මත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයෙනි. 

2018 මැයි මසදී යාපනය සරසවියට ඇතුළත් වූ ශනිල්කගේ යාපනය සරසවි සමය එතරම් කටුක වූයේ නැත. නවක සිසුන් වෙනුවෙන් පැවැත්වෙන සාමාන්‍ය සාම්ප්‍රදායික නවක වධයට මුහුණදීමට ඔහුට සිදුවූවද එය දරාගැනීමට නොහැකි තරම් කටුක නොවීය. ඉතා කෙටි කලකින් ජේ‍යෂ්ඨයන්ගේ සහෝදරත්වයේ දෑත් ඔහු වෙත දිගුවීමත් සමඟ යාපනය සරසවිය ඔහුට හිතකර ස්ථානයක් වී තිබිණි.

ඔහුගේ ඉන්ජිනේරු සිහිනය ඔහු ජාතික විද්‍යා තාක්ෂණික පීඨයට යෑමට මඟ පෑදුවද එහි ගතකළ අමිහිරි කටුක දිවිය ඔහුට දිනෙන් දින ගෙනදුන්නේ මහා මානසික පීඩනයකි. එයට හේතුවූයේ එම පීඨයේදී ශනිල්කට මුහුණදීමට සිදුවූ අමානුෂික ම්ලේච්ඡ නවක වධයයි. 

“ආදරණීය අම්මේ තාත්තේ, මට සමාවෙන්න. මම මේ තීරණය ගන්නේ ව්ච්ඊ  එකේ තියෙන නවක වධය නිසා. දවසකට පැය 8ක් 9ක් එක එකා කියන දේ අහගෙන ඉන්න ඕනෑ. මම මාර පීඩනයකින් ඉන්නේ. ඉන්න “සින්නො” මට ඉන්න දෙන්නෙම නෑ. මට එපා වෙලා තියෙන්නේ. එපාම වෙලා ඉන්නේ. එපාම වෙලා. ආයේ කැම්පස් එකට යන්නේ හෙට කියලා හිතෙන කොට මැරෙන්නම හිතෙනවා. ඒකයි මම මේ තීරණය ගත්තේ. මට ආයේ ඒ මඟුලට යන්න බෑ. “සින්නො” හොඳටම වධ දෙනවා. එපාම එපා කරවනවා. හරියට උන් සල්ලි දීලා අපිව කැම්පස් යවනවා වගේ.

යාපනේ ඉඳලා ඒක දාලා ආවේ ව්ච්ඊ  එකට තියෙන පට්ටම ආසාව නිසා. ඒත් ඒකේ ඉන්න උන් ඉන්න දෙන්නෙ නෑ. බල්ලෝ…” 

ශනිල්කලාගේ වත්ත පහළ ඇති කජු ගසක අත්තක ගෙල වැලලාගෙන ඔහු සියදිවි හානි කර ගන්නේ එවැනි ලිපියක් ලියා තැබීමෙන් අනතුරුවය. 

ශනිල්ක කජු ගසේ අත්තක ගෙල වැලලාගෙන සිටින අයුරු මුලින්ම දැක ඇත්තේ ඔහුගේ අම්මාය. දස මාසයක් කුස දරා ලේ කිරි කර පොවා ලොකු මහත් කර නිසි අධ්‍යාපනයක් ලබාදී සරසවියට පා තැබීමට මඟ පාදා දුන් සම්මා සම්බුදු අම්මා කෙනකුට දැකිය, දැරිය නොහැකි එවන් සංවේදී දසුනක් සියැසින් දකින්නට තරම් මේ අම්මා අවාසනාවන්ත වී ඇත. 

වෘත්තියෙන් පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක වූ ඩබ්ලිව්.එම්. නන්දාවතී මහත්මිය (51) ශනිල්කගේ අම්මාය. 

“අනේ මගේ දරුවාට වුණු මේ විපත මේ ලෝකයේ කිසිම දරුවකුට වෙන්න එපා. අනේ අම්මෙක් හැටියට මා මේ විඳින දුක මේ ලෝකයේ කිසිම අම්මා කෙනකුට විඳින්න වෙන්න එපා” ඒ අම්මා වේදනාවෙන් හඬා වැලපෙන්නීය. 

“මගේ උකුළේ ඔළුව තියාගෙන මේ දරුවා මේ අවනඩුව කිව්වෙ මට. පුතා හෝමාගම ගියාට පස්සේ පුදුම විදියට වෙනස් වුණා. දිනපතා 50ක විතර කණ්ඩායමක් නවක සිසුන්ට විවිධ වධ දීලා. ශාරීරික අවශ්‍යතා ඉටු කරගන්න පවා ඉඩදීලා නෑ. නිදාගන්න දීලා නැහැ. නිදාගෙන තියෙන්නේ ඇඳ යට. මේ වාගේ පීඩාකාරී ජීවිතයක් මේ නවක සිසුන් ගත කරලා තියෙන්නේ. 

යාපනය විශ්වවිද්‍යාලයේදීත් පුතා නවක වධයට මුහුණ දීලා තිබුණා. නමුත් මේ වාගේ අමානුෂික, ම්ලේච්ඡ, පීඩාකාරී දේවල්වලට ඔවුන්ට මුහුණ දෙන්න වෙලා නැහැ. මේ පීඩාව තවත් නම් දරාගෙන ඉන්න බැහැ කියලා පුතා මට කිව්වා. ඒ නිසා එයා කුරුණෑගල මහ රෝහලේ මානසික වෛද්‍ය සායනයට පවා යොමු කරන්න අපි උත්සාහ කළා. නවක වධයකින් වෙන්න ඕනෑ ඒ පරිසරයට හැඩ ගැසීම, සාමූහිකව සමානාත්මතාවයෙන් කටයුතු කිරීමට හුරු කිරීම වැනි සුබවාදී දේවල්. නමුත් ගම්වල දුප්පත් මවුපියන්ගේ දරුවන් හැටියට සරසවි වරම් ලබලා එන අය ඇයි මෙහෙම තිරිසන් විදියට තමන්ගේම බාල සහෝදරයන් වගේ පිරිසකට සලකන්නේ. මේකටද නවක වධය කියන්නේ. මේ විදියට නවක වධය දුන් අය විකෘති මානසිකත්වයෙන් පෙළෙන තිරිසනුන් මිසක් විශ්වවිද්‍යාල සිසුන් නම් වෙන්න බෑ. අපේ රටේ මේ අමානුෂික නවක වධය නිසා ඇතිවුණු පීඩාවන් දරාගන්න බැරිව කීදෙනෙක් නම් මෙහෙම සියදිවි හානි කර ගත්තද? කී දෙනකු සදාකාලික ආබාධිතයන් බවට පත්වුණාද? නමුත් ඒ නිසාමවත් මේ තිරිසන් ක්‍රියාවන් නැති වෙලා නැහැ. අවසාන කෙනා මගේ පුතා වෙන්න බැහැ මේ විදියට ජීවිතය අහිමි කරගත්ත. ඇයි මේ තත්ත්වයන් වෙනස් කරන්න විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු නොකරන්නේ. ශිෂ්‍ය අයිතිවාසිකම් ගැන පාරට බැහැලා කෑ ගහන ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් ඇයි මේ වගේ අවස්ථාවල ඒවාට එරෙහිව නැඟී නොසිටින්නේ” 

තම ආදරණීය පුතාගේ වියෝව දරාගත නොහැකි වුවද හඬ නඟා විලාප නොදී එම වේදනාව පපුව තුළ සිරකරගෙන සිටින ශනිල්කගේ පියා, ඩබ්ලිව්.එම්. මෛත්‍රිපාල විජේසිංහ මහතාය. පෞද්ගලික අංශයේ රැකියාවක නිරත ඒ මහතා තම දරුවා මුහුණ දුන් මෙම අවාසනාවන්ත තත්ත්වය තවත් නවක විශ්වවිද්‍යාල සිසුවකුට නොවන තැනට කටයුතු යෙදීම වගකිවයුතු බලධරයන්ගේ සහ නිලධාරීන්ගේ යුතුකම මෙන්ම වගකීමද වන බව අවධාරණය කරයි. 

“යාපනය විශ්වවිද්‍යාලයට ගිය ළමයෙක් බව දැනගත් දා ඉඳලා මේ දරුවට කරන තාඩන පීඩන තවත් වැඩි වෙලා. මගේ පුතා මේ ලෝකේ හැර දාලා ගිහින්. අපිව හැරදාලා ගිහින්. ඒක වෙලා ඉවරයි. නමුත් මේ රටේ මේ වගේ දෙයක් නැවත නොවෙන්න වගබලා ගැනීම වගකිවයුතු අයගේ වගකීම. 

අතිගරු ජනාධිපතිතුමා, ගරු අධ්‍යාපන ඇමැතිතුමා නිතර ප්‍රකාශ කරන හැටියට මේ රටේ හැම දරුවකුටම ඉගෙන ගන්න අයිතිය තිබෙනවා. නිදහස් අධ්‍යාපනයේ තීරණාත්මක පියවර විශ්වවිද්‍යාල අධ්‍යාපනය. ගම්වල ඉන්න ගමෙන් ගිය අහිංසක දුප්පත් දරුවන්ට නිදහසේ උසස් අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය නේද මෙහෙම අමානුෂික විදියට උදුරා ගන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාලවල කෝ මේ වාගේ නවක වධය. කනගාටුවට කරුණ ගමෙන් අධ්‍යාපනය ලබලා ගමෙන් විශ්වවිද්‍යාලයට ආපු අයමයි මෙහෙම ගමෙන් ආපු අයගේ ජීවිත උදුරා ගන්නේ. මේවා අපරාධ මිසක් නවක වධ නෙවේ. අපරාධකරුවන්ට දඬුවම් දෙන්න ඕනෑ. මම ජනාධිපතිතුමාගෙන්, උසස් අධ්‍යාපන ඇමැතිතුමාගෙන් සහ අධ්‍යාපන ඇමැතිතුමාගෙන් ඒ වගේම වගකිවයුතු නිලධාරීන්ගෙන් බොහොම බැගෑපත්ව ඉල්ලා සිටිනවා. මෙහෙම හැසිරෙන මේ අපරාධකරුවන්ගෙන් අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය බේරා දෙන්න කියලා. මේ කණකොකා හඬන්නේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයට. මේ අපරාධකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා අපේ නිදහස් අධ්‍යාපනය බේරලා දෙන්න කියලා.” 

ශනිල්කගේ එකම නැඟණිය ධනංජි අකලංකාය (19). ඇය 2019 වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටින්නීය. 

“දැන් ඉතින් අයියා නැතුව මං තනි වෙනවා. අයියා යාපනයේ කැම්පස් ඉන්න කාලේ හරි සතුටින් හිටියා. නමුත් ව්ච්ඊ ගියාට පස්සේ පුදුම පීඩාවක හිටියේ. අයියා මට කිව්වේ “නංගියේ ඔයා නම් විශ්වවිද්‍යාලයට යන්න එපා” කියලා. පසුගිය දිනවල අයියා ඒ පීඩාව නැහැ වාගේ ගෙදර සේරම එක්ක බොහොම සතුටින් හිටියා. අයියා ඔය අවාසනාවන්ත තීන්දුව ගත්ත දවසෙත් අපිත් එක්ක විනෝදෙන් සතුටින් හිටියා. සෙල්ලම් කළා. අයියා එහෙම ඉන්න ඇත්තේ මේ තීරණය ගන්න හිත හදාගෙන අවසන් දවසේ සතුටින් ඉන්න ඕනෑ කියලා හිතලද කියලා මට දැන් හිතෙනවා. අනේ මගේ අයියාට වෙච්ච දේ වෙන කාටවත්ම වෙන්න නම් එපා” 

පවුලක්, රටක් හඬවා ශනිල්ක දිල්හාන් විජේසිංහ නම් විශ්වවිද්‍යාල සිසුවා අවසන් ගමන් ගොසිනි. ඒ මේ අමානුෂික නවක වධය අපට එපා, රටට එපා යන හඬ නඟමිනි. මේ එවන් හඬක් නඟා අවසන් ගමන් ගිය එකම හෝ ප්‍රථම සරසවි සිසුවා නොවේ. 

මේ ආකාරයට මීට පෙරද හඬ නඟා දිවි නසාගත් සරසවි සිසුන්ගේ හඬට කන්දුන් කිසිවකු නැති බව පෙනී යන්නේ ශනිල්කටද ඒ හඬ නඟන්නට සිදු වූ නිසාය. 

රටේම අවධානය ශනිල්කට යොමුව තිබුණද ඒ අවධානය රැඳෙන්නේ තවත් උණුසුම් පුවතක් අපේ දෙසවන, දෙනත ගැටෙන තුරු පමණකි. නැවතත් ලියමි. ඉස්තාලය වසා දමන්නේ අශ්වයා පලා ගිය පසුවය. එය තවදුරටත් එසේ සිදුවිය යුතුද?