පිපාසයට දිය හොයන වන සතුන් මරලා හෝටල්වලට විකුණන මිනිස් තිරිසන්නු

දුහුවිල්ලටත් ගිනි ඇවිළෙනා තරම් පෑවිල්ල දරුණුය. නාගරික ප්‍රදේශ ආශි්‍රතව පමණක් නොව ගම්බිම්වල පවා ගස් කොළන් නියඟට හසුවී කේඩෑරී වී ගොසිනි. අෑත ගම්දනව්වල බීමට වතුර බිඳක් සොයා සැතපුම් ගණන් යෑමට සිදුව තිබේ. 

ළිංවල වතුර නැත. ජාතික ජලාපවහන මණ්ඩලයට අඛණ්ඩව ජලය සපයාගත නොහැකිව ඇත. නියඟය මොන තරම් දරුණු වීද යත් සතා සිවුපාවන් පවා බීමට දිය බිඳක් සොයා සතර දිග් භාගයේ ඇවිදින්නට පටන්ගෙන තිබේ.

මේ අල්ලපනල්ලේ හබරණ, දිගම්පතන, මින්නේරිය, දඹුල්ල, ගලේවෙල, සීගිරිය ආදී ප්‍රදේශවල මහා දඩමස් ජාවාරමක් ආරම්භ වී ඇත.

අහිංසක මුව රංචු, වල් උෟරන්, ගෝනුන්, හාවුන් අල්ලා ඝාතනය කර මස්කර විකිණීමේ ජාවාරමට නම් නියඟය ආශීර්වාදයක් වී තිබේ.

දිගම්පතන රජයේ රක්ෂිතය වූ කලී වන සතුන්ගේ නිජබිමකි. අලි ඇතුන් මෙන්ම, වල් උෟරන්, මුව රංචු, ගෝනුන් ආදී සතුන් පමණක් නොව තලගොයි, ඉත්තෑවුන්, හාවුන් ආදීන් කෑමට බීමට දෙයක් නොමැතිව දහදුක් විඳිද්දී දඩයක්කරුවන් කැලයට වැදී ඒ අසරණ සතුන්ට ගිනි පිඹීමට පටන් ගෙන ඇත.

දඩමස්වලට හොඳ ඉල්ලුමක්ද ලැබී තිබේ. දෙස් විදෙස් සංචාරකයන් ගැවසෙන හෝටල්වලට ඉතා පහසුවෙන් දඩමස් විකිණීමට හැකි වී ඇත්තේ ඒ තරම් ඉල්ලුමක් ඇති වී ඇති නිසාය. ඇත්තටම මේ වනවිට දිගම්පතන රක්ෂිතයේ සිටි සතුන්ගෙන් භාගයක්ම දඩමස් බවට පත්වී ඇතැයි වන සංරක්ෂණ සහ වනජීවී නිලධාරීන් කියන කතාවකි.

මුව, ගෝන සහ තලගොයි, හාවුන් දඩයම සනාථ කරන සිද්ධියක් ඊයේ පෙරේදා ද අතටම හසුකර ගැනීමට දඹුල්ල බීට්ටු වන නිලධාරීහු සමත් වූහ.

මේ දිනවල ඇතැමුන් කැලෑවට ගිනි තබති. මේ මෝඩ තකතීරු මිනිසුන් නිසා වටිනා වන සම්පත විනාශ වේ. එපමණක් නොව වනයේ සිටින අහිංසක සතා සිවුපාවුන් පණ පිටින් පිච්චී අළු බවට පත්ව යති. මේ නිසා පැය විසිහතරේම සෝදිසියෙන් සිටීමට දඹුල්ල වන සංරක්ෂණ නිලධාරීහු පියවර ගෙන සිටිති. එනිසාම නියඟයෙන් බැටකන අහිංසක සතුන් කොටු කර දඩයම් කර ගන්නා දඩයක්කරුවන්ද නීතියේ රැහැනට හසුකර ගැනීමට මේ අය සමත්ව සිටී.

වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නමගිය දඩයක්කරුවෙක් හා දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ තවත් දඩයක්කරුවකු වන සංරක්ෂණ නිලධාරීන් විසින් 01 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මරාදමන ලද අහිංසක හාවුන් දෙදෙනකු හා ගිනි අවියක්ද සමඟිනි.

මොවුන් දෙදෙනා දඹුල්ල ප්‍රදේශයට පැමිණ ඇත්තේ සතුන් දඩයම් කිරීමටය. මොනරාගල ඇතිලිවැව  ප්‍රදේශයේ පුද්ගලයා සහ දිගම්පතන ප්‍රදේශයේ පදිංචිකරු දඹුල්ල ප්‍රදේශයේ නිවෙසක නතර වී සතුන් දඩයම් කර ඇතැයි ද අනාවරණය වී ඇත.

එහෙන් නියඟය නිසා වන සතුන් කරදරයක පැටලී සිටිති. අනෙක් අතින් දඩයක්කරුවන්ගේ උගුල් හැමතැනකමය. මේ වන සතුන්ගේ ජීවිත දෙපැත්තකින් වනසා දමමින් තිබේ.

අත්අඩංගුවට පත් වූ මේ දඩයක්කරුවන් දෙදෙනා හෙළි කළ තොරතුරුවලට අනුව මේ දඩමස් විකුණා ඇත්තේ හෝටල්වලටය.

මීට අමතරව පිටස්තර ප්‍රදේශවල සාදවලටද, බත් කඩවලටද දඩමස් සැපයීම කර ඇත.

රක්ෂිතයේ උන් හාවුන් දෙදෙනා මරා දැමූ සැකකරුවන් දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර මහතා වෙත ඉදිරිපත් කළ පසු එක් හාවෙකුට රුපියල් හැටදහස බැගින් රුපියල් එක්ලක්ෂ විසිදහසක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කළේය. මොවුන් සතුව තිබූ ගිනි අවියද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට දඹුල්ල, ඉනාමළුව වන සංරක්ෂණ නිලධාරීන් පියවර ගෙන තිබිණි.

මෙසේ දඩ නියම වූයේ හාවුන් දඩයමේ ගිය ඩබ්ලිව්. අජිත් වීරසිංහ නෙළුම්එල්ල ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචිකරුවකුට සහ ඒ.ජී. සෙනරත් විජේකෝන් දඹුල්ල දිගම්පතන ප්‍රදේශයේ පදිංචිකරුවකුටය.

මාතලේ දිසා වන නිලධාරී එච්.එම්.ඒ.බී. හේරත්, නාවුල අඩවි වන නිලධාරී එම්.ජී.වී. ජයකොඩි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දඹුල්ල ඉනාමළුව බීට්ටු වන නිලධාරි එඩ්වඩ් රාගල්, වන සහකාරවරුන් වන එච්.එම්. හේරත්, ජී.එච්. අජිත් කුමාර, තාරක දසනායක, ඒ.එම්. රම්බණ්ඩා, මහින්දපාල යන මහත්වරු වැටලීමට එක්වූහ.

ශිරාන් රණසිංහ, 

පසුබිම් වාර්තා සහ ඡායාරූප 

දඹුල්ල – කේ.කේ. ආරියදාස