කොළොන්නාව ජල ටැංකියේ නල ජලයට වස දාලද? ඇත්ත කතාව මෙන්න…!

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක නල ජලයට වස මුසු කර ඇති බවට සමාජජාල මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා.

බොහෝ පිරිසක් කියා සිටියේ කොළොන්නාව ආශ්‍රිත ජල ටැංකියකට මෙලෙස වස මුසු කර ඇති බවට රාවයක් පවතින බවයි. තවත් පිරිසක් කියා සිටියේ කැළණිය ප්‍රදේශයේ පොලිස් රථ මගින් පානීය ජලයට වස මුසු කර ඇති බවට නිවේදනය කරමින් යන බවට පැවසෙන බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළ අතර එහිදී කැළණිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කර ගනිමින් අදාළ සිද්ධිය ගැන විමසා සිටියා. එහිදී කැළණිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේ එම තොරතුර අසත්‍ය එකක් බවයි.

මේ අවස්ථාවේ විවිධ පිරිස් විවිධ කරුණු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් ඇති බවත් ඒ පිළිබඳව ජනතාවට විමසිලිමත්වන ලෙසත් දන්වා සිටියා.

කිරිබත්ගොඩ, ජාඇල, කැළණිය ආදී ප්‍රදේශවල මෙම අසත්‍ය ප්‍රචාර පැතිරෙමින් ඇති බවයි පොලිසිය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.