දේශපාලඥයින් කල්තියා දැනගෙන සිටි බෝම්බ ප්‍රහාර සැළසුම් රටට හෙළි නොකලේ ඇයි…?

කොළඹ, කටුවාපිටිය සහ මඩකළපුව ප්‍රදේශයේ දී ඊයේ (21) සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය විසින් කල්තියා තොරතුරු ලබා දුන් බව දේශපාලඥයින් කිහිප දෙනෙකුම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට විදේශ බුද්ධි අංශ විසින් මෙරට බුද්ධි අංශ දැනුවත් කර ඇති බවට වන තොරතුරු රාජ්‍ය බුද්ධි අංශය විසින් සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙම ප්‍රහාරයන් සඳහා සම්බන්ධ වන බවට සැකකරන පුද්ගලයින් 06 දෙනෙකු සම්බන්ධයෙන් සහ ඔවුන් විසින් සිදුකිරීමට සුදානම් ප්‍රහාරයන් ගැනද තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

ඊයේ (21) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙන් හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ සති තුනක පමණ කාලයක් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිය පියා විසින් කොළඹ දී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇති බැවින් දේවස්ථානයට නොයන ලෙස පසුගිය 20 වෙනිදා  දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටි බවයි.

එම දුරකථන ඇමතුම ලැබෙන විට තමන් බදුල්ල ප්‍රදේශයේ සිටිය බවත් පසුව කොළඹට පැමිණ සිය පියා මුණගැසීමට රෝහලට ගිය අවස්ථාවේදී මේ ප්‍රහාර සම්බන්ධ තොරතුරු ලැබුනේ කෙසේද යන්න විමසූ ඒ පිළිබදව බුද්ධි අංශ කල් තියා තමන්ට දැනුම්  දී තිබු බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ අතර මේ අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් විසින් කොළඹදී දේශපාලඥයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සුදානමක් පවතින බව මිට සතියකට පෙර තම ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් හට ඔවුන්ගේ කොට්ඨාශ ප්‍රධානින් විසින් දැනුම් දී තිබු බවට අමාත්‍ය මනෝ ගනේෂන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් දේශපාලඥයින් කල් තියා දැනගෙන සිටි මේ මහා ඛේදවාචකය පිළිබඳව ජනතාව දැනුවත් කර තිබුනේනම් රට තුල මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් ඇති නොවන්නට ඉඩකඩ තිබුනා.