ෆේස්බුක් සියල්ල කටකතා පමණද? සමාජ ජාලා පරිශීලකයන්ගේ ආණ්ඩුවට පැනයක්..!

ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ පිපිරවීම් පිළිබඳව මෙරට ආරක්ෂක අමාත්‍යාංශය හා  ජාත්‍යන්තර ඔත්තු සේවා මින් පෙර දැනුවත් කර තිබුණත් ඊට නිසි ක්‍රියාමාර්ග නොගත්තේ ඇයිදැයි මේ වන විට පොදු ජන සමාජය තුළ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබේ.

 (21) සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය විසින් කල්තියා ලබා දුන් තොරතුරු වල ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට සවිස්තරාත්මකව ඉදිරිපත් කර තිබුණි.

එහිදී මෙම ප්‍රහාරයන් සඳහා සම්බන්ධ වන බවට සැකකරන පුද්ගලයින් 06 දෙනෙකු සම්බන්ධයෙන් සහ ඔවුන් විසින් සිදුකිරීමට සුදානම් ප්‍රහාරයන් ගැනද , මෙම ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරීන් විසින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක සිදුකරන ලද ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද  වාර්තා කර තිබුණි.

ඊයේ මෙම ප්‍රහාරය එල්ල වූවායින් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් වූ ලිපිගොනු කිහිපයක් සංසරණය වූ අතර පසුව වගකිව යුතු බළධාරීන් මෙය ව්‍යාජ ලිපිගොනුවක් බවට සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය විසින් කල්තියා තොරතුරු ලබා දුන් බව මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමත් සමග එම වාර්තා සාවද්‍ය නොවේ යැයි කරුණු තහවුරු විය.

මෙම ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාවේ සමාජ ජාල වෙබ් අඩවි වලට පිවිසීම ආණ්ඩුව විසින් තාවකාලිකව වාරණය කළේය.ඒ සමාජ ජාල ඔස්සේ ව්‍යාජ තොරතුරු හා පුවත් හා කටකතා සංසරණය වන බව කියමිනි.

පසුගිය සමය තුළ රජයේ විශාල චෝදනාවක් ද වූයේ සමාජ ජාල තුළින් මෙලෙස ව්‍යාජ තොරතුරු සංසරණය වන බවය.කෙසේ නමුත් මෙම සීදුවීමත් සමග සමාජ ජාල තුලින් සංසරණය වන සියලු තොරතුරු බැහැර කළ හැකි දැයි නැවතත් විමසා බැලිය යුතු බව සමාජ ජාලා පරිශිලකයන්ගේ මතය වී තිබේ.ඒ සමාජ ජාල තුළින් සංසරණය වන්නේ ව්‍යාජ තොරතුරු යැයි කීවත්  වගකිවයුතු පාර්ශව වල ප්‍රකාශ වලට වඩා සමාජ ජාල වල එකී තොරතුරු බොහොමයක් මෙම සිදුවීමෙදි ඇස් මනාපිටම තහවුරු වී ඇති බැවිනි.