ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ අභ්‍යන්තර සැකැස්ම පිළිබඳ තොරතුරු හෙළිවෙයි

කොළඹ ඇතුළු ස්ථාන කිහිපයක පසුගිය 21 වැනිදා සිදු වූ පිපිරවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී සිටින සැකකරුවන් තවදුරටත් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

ඒ අනුව එම සැකකරුවන් තවත් දින 3ක් රඳවාගෙන ප‍්‍රශ්න කෙරෙනු ඇති. 

මේ අතර මෙම පිපිරවීම් සම්බන්ධයෙන් විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 15ක් යොදවා සිටිනවා.

දැනට කළ විමර්ශවලින් චෝදනාවට ලක්ව සිටින ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ අභ්‍යන්තර සැකැස්ම පිළිබඳවද යම් යම් තොරතුරු හෙළි කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සංවිධානය අනු කණ්ඩායම් ලෙස කටයුතු කර ඇති බවද ඒ ඒ කණ්ඩායමට එක් එක් විෂයන් පවරා තිබී ඇති බවද හෙළිව තිබෙනවා. සංවිධානයේ කිසිදු සාමාජිකයෙකු තමන්ට අයත් විෂය හැර සෙසු විෂයන් සම්බන්ධයෙන් තොරතුරු දැන සිට නොමැති බවයි වැඩිදුරටත් හෙළිකර ගෙන ඇත්තේ.