දෙහිවල සිකියුරිටි වැඩි නිසා ප්‍රහාරකයා ලොජ් එකේදී දිවිනසාගෙන – අහක සිටි පෙම් යුවළ මියගොසින්

පසුගිය ඉරිදා සිදුවූ බොම්බ ප්‍රහාර වලින් කිසිදු අරමුණකින් තොරව පුපුරවන ලද බෝම්බය දෙහිවලින් වාර්තා විය. ඒ දෙහිවල සත්ත්වෝද්‍යානය අසල නිව් ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම්හලේ කාමරයක් තුළදී සිදු කරගත් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගැනීමයි. මෙම බෝම්බය දෙහිවල ප්‍රධාන කතෝලික පල්ලියක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන්නට සිටි බෝම්බකරුගේ කුරුමානම වැරදීමෙන් පසු ඔහු නවාතැන්ගෙන සිටි තැනට පැමිණ සිදුකරගත් දිවිනසාගැනීමක් ලෙස හඳුනාගන්නට ලැබේ. මෙහිදී අහක සිටි පෙම් යුවළක් අවාසනාවන්ත ලෙස මරු වැළඳ ගත්හ.
ලොජ් එකේ බොම්බකරු පුපුරුවාගත් කාමරයට අල්ලපු කාමරයේ 
තාවකාලිකව රැඳී සිටි මෙම යුවළ බොම්බයට හසුව තුවාල ලබා කළුබෝවිල රෝහලට ගෙන යනවිට මියගොස් තිබුණි.
 සියදිවි නසාගත් පුද්ගලයාට ප්‍රවාහන පහසුකම් ලබාදුන් ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු හා එම ලැගුම්හලේ හිමිකරු ඊයේ (22දා) රාත්‍රී අත්අඩංගුවට ගත් අතර ඔවුන් සපයන ලද තොරතුරු අනුව ප්‍රහාරකයා ගැන වැඩිදුර කරුණු හෙළි විය.
බෝම්බය පුපුරුවා ගත් පුද්ගලයා මහනුවර, 

වෙල්ලම්බඩ පදිංචිව සිටි අබ්දුල් හලීෆ් ජමිල් මොහොමඩ් ලෙස හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි. ඔහු ගුවන් යානා ඉංජිනේරුවෙකු බවත් කලක් විදේශගතව සිට නැවත ශ්‍රී ලංකාවේ පදිංචියට ආ 31 හැවිරිදි අයෙකු බවත් පොලිසිය සොයාගෙන ඇත.

21 වැනිදා උදේ බෝම්බ සිද්ධි කිහිපයක් රටපුරා වාර්තාවීමෙන් පසු පෙ.ව. 10.30ට පමණ ජමිල් මොහොමඩ් නමැත්තා වැල්ලවත්ත ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයකට නැග එහි රියදුරුගෙන් දෙහිවල නවාතැන්පොළක් ගැන විමසා ඇති අතර, රියදුරු නිව් ට්‍රොපිකල් ඉන් ලැගුම්හලට ඇරලවා පිටවී ගොස් ඇත.
විනාඩි කිහිපයක් පමණ ලැගුම්හලේ කාමරයේ ගතකර ඇති ජමිල්  බෝම්බය සහිත ගමන්මල්ල එම කාමරයේ තබා පා ගමනින් දෙහිවල කතෝලික දේවස්ථානය ආසන්නයට ගමන් කර ඇති බවට පොලිසියට සාක්ෂි හමුව ඇත.
ඒ අයුරින් අවස්ථා දෙකකදී ඒ අවට සැරිසරා ඇති නමුත් ඔහු එහි ආරක්ෂක තත්වය ගැන බියවී ඇති බවක් පෙනෙන්නට ඇතැයි පොලිසිය පවසයි.

මීට පෙර අවස්ථා දෙකකදී එම දෙහිවල දේවස්ථානය සොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ බැවින් එය වැළැක්වීම සඳහා පොලිස් මුරපොළක් හා සමානව එම දේවස්ථානයට ආරක්ෂාව සපයා තිබූ බව පොලීසිය කියයි‍ෙ
උදෑසන කොච්චිකඩේ, මීගමුව හා මඩකලපුවේ දේවස්ථානවල බෝම්බ එකිනෙක පිපිරවීමත් සමග දෙහිවල කතෝලික දේවස්ථානයේ ආරක්ෂාව ඒවනවිටත් තර කර තිබිණි.
මේ නිසා දේවස්තානය පුපුරුවාහරින්නට ඔහුගේ ප්‍රයත්නය අත්හැරගෙන තිබෙන බව හඳුනාගන්නට ලැබේ.
බෝම්බකරුට බෝම්බ බෑගය රැගෙන එයට ඇතුළුවීමට නොහැකි බව පෙනීයාම හේතුවෙන් ඔහු ලැගුම්හල වෙත නැවත ගොස් තිබූ අතර එම අවස්ථාවේ බෝම්බකරුගේ හැසිරීම පිළිබඳ එහි සේවකයන්ට සැකයක් හටගෙන ඇත. එය දැනගත් බෝම්බකරු බෝම්බය පුපුරවාගන්නට ඇතැයි බොහෝ දුරට විශ්වාස කළ හැකි බව පොලිසිය සඳහන් කර ඇත.

පැය කිහිපයකට පෙර වෙන් කරගත් කාමරය ඇතුළේදී ඔහු සිය මරාගෙන මැරෙන කට්ටලය පුපුරවා ගැනීමත් සමග එයට යාබද කාමරයද පිපුරුමට ගොදුරුවූ අතර යාබද කාමරයේ රැඳී සිටි පෙම් යුවළ බොම්බයට හසුව බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ගෙන යනවිට දෙදෙනාම  මියගොස් තිබුණි.

සිද්ධියෙන් මියගිය තරුණිය ගැන තොරතුරු මේ වනවිට වාර්තා වෙයි. ඇය පානදුර උයන්කැලේ පදිංචි 24 හැවිරිදි තරුණියකි. කම්කරු දෙපාර්තමේන්තුවේ කළමනාකාර සහකාරියක ලෙස ඇය සේවය කරමින් සිට ඇති අතර ඉරිදා දිනයේ නුගේගොඩ බාහිර උපාධි පන්තියකට සහභාගී වන්නට යන බව නිවසට පවසා පිටත්ව ගිය ගමනේදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇත.

ඇය එදින උදේ පානදුර නිවසේ සිට නුගේගොඩ පන්තියට ගිය බවත් ඉන්පසු රටේ කලබලකාරී තත්වය සැලවී  ඇයට දුරකථනයෙන් අමතන අවස්ථාවේ ප්‍රශ්නයක් නැතිව පන්තියේ බව කියමින් කථාකළ බවත් මව පවසා ඇත. කෙසේ වෙතත් ඇය පෙම්වතා සමග සිටි බව මව දැන සිට නැත.
මියගිය පියුමි ශානිකාගේ මව හැඬූ කඳුළින් මෙසේ කියා ඇත.

”දුව රැකියාව පණ වගේ කළා. ජීවිතයම අධ්‍යාපන කටයුතුවල තමයි නිරත වුණේ. රැකියාව කළා කියලා අධ්‍යාපන කටයුතු නොකර හිටියේ නෑ. මැයි 12 වැනිදා කැම්පස් එකේ විභාගයකට පෙනී සිටීමට නියමිතව සිටියා. රෑ වෙනකන් පාඩම් කළා. පාන්දර 5 ට අවදි වෙලා එයා රස්සාවට යන්න ලෑස්ති වෙනවා.
 අපි පානදුර බස් නැවතුම්පළ වෙත අපේ වෑන් එකෙන් උදේට ගෙනත් දානවා. 
පස්සෙ හැමදාම ඇය අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම තියෙන කාර්යාලයට යනවා. 
මේ සිද්ධිය වෙන දවසේ නුගේගොඩ පන්තියකට සහභාගි වෙමින් තමයි ඇය සිටියේ.

එදා මම දහවල් 11.00 ට පමණ කිව්වා පුතේ බෝම්බ පිපිරිලා බලාගෙන ප‍්‍රවේශමෙන් කියලා. එයා කිව්වා බයවෙන්න එපා අම්මේ සර් උගන්වනවා කියලා. නමුත් අපි එයාගේ දුරකථනයට ඇමතුම් ගත්තට මුකුත් ප‍්‍රතිචාරයක් දැක්වූයේ නෑ. වෙනදා මට කතා කරලා අම්මේ බෙහෙත් බිව්වද කියලා අහන ළමයා. නමුත් අපි සැකේට එයාව බලන්න නුගේගොඩට ගියා. නුගේගොඩට යනකොට පන්තිය වහලා තිබුණා. හැබැයි එයාගේ දුරකථනය මේ වෙනකොටත් නාදවෙමින් තියෙනවා. මං හිතුවා එයාට අනතුරක් වෙලා කියලා. පස්සෙ තමයි මේ ගැන දැනගත්තේ’
ඇගේ අවසන් කටයුතු මේ මස 25 වැනිදා බ‍්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතව ඇත.