සෝදිසියෙන් සිටි වාහන අතරින් වෑන් රථයක් සහ යතුරුපැදියක් සොයා ගනී

සෝදිසියෙන් සිටින්නැයි පොලිස්පතිවරයා විසින් ඊයේ (23) දැනුම් දුන් වාහන අතර සඳහන් වූ වෑන් රථය සහ සැක සහිත තවත් යතුරු පැදියක් වරකාපොල ප‍්‍රදේශයේ නිවසක තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.

වෑන් රථයක් සහ යතුරු පැදියක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් ආරංචි පවසන්නේ. අදාළ වෑන් රථයේ රියදුරු බවට විශ්වාස කරන තැනැත්තෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෑන් රථය, යතුරු පැදිය සහ රියදුරු පසුව ඉදිරි විමර්ශන සඳහා වරකාපොල පොලීසියට භාරදී තිබෙන බවයි වාර්තා වුණේ.

දැනට කළ විමර්ශනවලින් හෙළිව ඇත්තේ මෙම වෑන් රථය කුළී පදනම මත ගමන් බිමන් සඳහා ලබාදෙන්නක් බවයි. හෙම්මාතගම ප‍්‍රදේශයේ මවුලවිවරයෙකු විසින් කරන ලද වෙන් කිරීමකට අනුව ඩුබායිහි සිට පැමිණි සංචාරකයන් පිරිසක් ඉකුත් සති දෙකක පමණ කාලයක් තිස්සේ මෙම වෑන් රථය භාවිත කර ඇතැයිද තොරතුරු ලැබී තිබෙනවා.

ඔවුන් නුවර, නුවරඑළිය, පොතුවිල්, අරුගම්බේ, මීගමුව සහ හලාවත යන ප‍්‍රදේශවල මෙම වෑන් රථයෙන් සංචාරය කර ඇති බවයි වැඩිදුරටත් හෙළිව ඇත්තේ. අදාළ කාලය තුළ සංචාරයකයන් පිරිස හෝටල්වල නවාතැන් ගෙන ඇතැයිද ඔවුන් ඉකුත් 20 වැනිදා හෝ 21 වැනිදා ශී‍්‍ර ලංකාවෙන් පිටත්ව ගොස් ඇතැයිද සැක කෙරෙනවා. ස්ථාන 8 ක පිපිරීම් 9 ක් සිදුවූයේ ද ඉකුත් 21 වැනිදායි.