බුද්ධි අංශ නිලධාරීන් හිරේ දාපු නිසා ‌නෙමෙයි ‌‌මේවා උනේ…! ඇමති මංගල කියයි…!

සාමාන්‍ය නීතිය යටතේ වරදක් සිදුකර හෝ ඊට සැක පිට අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිලධාරීන්ද රටේ සාමාන්‍ය නීතියට යටත් බව, එසේ නැති වුවහොත් ඔවුන්ට ඕනෑම වරදක් කිරීමට හැකි මතයක් ඇතිවන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

බුද්ධි අංශ සාමාජිකයන් සිරගත කිරීම මෙම ප්‍රහාරයට හේතුවක් කියා මතයක් රට තුළ පවතිනවා නොවේදැයි මුදල් අමාත්‍යාංශයේ අද (26දා) පැවති මාධ්‍ය හමුවකදී නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“ඒ කතාවට මම විරුද්ධයි. බුද්ධි අංශයේ හිටපු සාමාජිකයන් අත්අඩංගුවේ ඉන්නව නම් ඔවුන් ඒ ඉන්නේ බුද්ධි අංශයේ රාජකාරි කටයුතු කිරීම නිසා නොවෙයි.  සාමාන්‍ය නීතිය යටතේ වරදක් සිදු කරලා හෝ ඊට සැක පිට තමයි ඔවුන් අත්අඩංගුවේ ඉන්නේ. නීතිය කාටත් පොදුයි. බුද්ධි අංශ නිලධාරීන්ද රටේ සාමාන්‍ය නීතියට යටත්. එහෙම නැති වුණොත් වෙන්නේ බුද්ධි අංශ නිලධාරීන්ට ඕනෑම වරදක් කරන්න පුළුවන් කියලා මතයක් ඇති වෙන එකයි.”