සිරගත කළ බුද්ධි නිලධාරීන්ට සමාව දෙන යෝජනාවට මංගල විරුද්ධ වෙයි.

සිරගතවී සිටින බුද්ධි අංශ නිලධාරීන්ට පොදු සමාවක් ලබාදීමට කර ඇති යෝජනාවට තමා විරෝධය දක්වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යාංශයේ අද (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.

බුද්ධි අංශ නිලධාරීන්ටත් රටේ පවතින පොදු නීතිය ක්‍රියාත්මක වියයුතු බවද ඔවුන් සිරගතව සිටින්නේ රටේ නීතියට පටහැනිව කටයුතු කළ නිසා යැයිද මංගල සමරවීර මහතා පැවසුවා.

ප්‍රශ්නය – සිරගතකර සිටින බුද්ධි අංශ නිලධාරීන් පොදු සමාවක් ලබාදිය යුතු බවට අස්ගිරි මහනාහිමිවරු කර ඇති ප්‍රකාශයට ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක් ද ?

පිළිතුර – මම නම් ඔය කියන යෝජනාවට විරුද්ධයි. බුද්ධි අංශ නිලධාරීන් සිරගත වී ඉන්නේ ඒ අය බුද්ධි අංශයේ කටයුතු කළ නිසා නොවෙයි.

රටේ නීතියට පිටින් කියලා ඒ අයට වෙනම නීතියක් නැහැ. හැමෝටම රටේ පොදු නීතියක් තියෙනවා. මිනීමරලානම් සුදුවෑන් වලින් මිනිස්සු උස්සලා නම් වෙනත් අපරාධ කරලා තියෙනවා නම් බුද්ධි අංශ නොවෙයි මොන අංශයේ උනත් දඬුවම් කරන්න ඕනේ.

ප්‍රශ්නය – ජාතික තව්හිත් ජමාත් සංවිධානය තහනම් කිරීමට රජය අපේක්ෂා කරනවාද ?

පිළිතුර – යම් සංවිධානයක් තහනම් කළ පමණින් අන්තවාදී කටයුතු නතර කරන්න බැහැ. මුස්ලිම් ජනතාවගේ යෝජනා ඉල්ලීම් ආදියත් සලකා බලන්න ඕනේ.