“කල්මුණේ උණුසුම්, දෙපාර්ශවයෙන්ම වෙඩි ප්‍රහාර” ත්‍රස්තයන් දෙදෙනෙකු මිය යයි – නැවතත් මෙහෙයුම් ඇරඹේ

කල්මුණේ, සමන්තුරෙයි සහ චවලකඩෙයි යන පොලිස් බල ප‍්‍රදේශවලට තවදුරටත් පොලිස් ඇදිරි නීතිය කි‍්‍රයාත්මක බව පොලීසිය පවසනවා. දිවයිනේ සෙසු ප‍්‍රදේශවලට පනවා තිබූ ඇදිරි නීතිය අද අළුයම හතරේ සිට ඉවත් කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. 

කල්මුණේ සයින්දමරඳු ප‍්‍රදේශයේ වැලිබෝරියන් සුනාමි ගම්මානයේ ඊයේ රාති‍්‍රයේ ආරක්‍ෂක අංශ සෝදිසි මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළා. එම අවස්ථාවේ කිසියම් පාර්ශවයක් ආරක්‍ෂක අංශ වෙත වෙඩි ප‍්‍රහාරයක් එල්ල කිරිමත් සමග ආරක්‍ෂක අංශද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර තිබෙනවා. 

පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාව එක්ව එම ප‍්‍රදේශයේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කළේ ඉන් පසුවයි. එම අවස්ථාවේ පිපිරීම් කිහිපයක් සිදුවූ බවද වාර්තා වුණා. දෙපාර්ශවය අතර හටගත් වෙඩි හුවමාරුවලින් ත‍්‍රස්ත සාමාජිකයන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි යුද හමුදාව පැවසුවේ. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ හිසක් සහ ටී 56 ගිනි අවියක් අතැතිව මියගොස් සිටි අයෙකුගේ සිරුරක් යුද හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. 

සිද්ධියෙන් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා කල්මුණේ අෂ්රොෆ් රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ. ආරක්‍ෂක අංශ අද අළුයම  කල්මුණේ, සයින්දමරඳු ප‍්‍රදේශයේ මෙහෙයුම් යළි ආරම්භ කර ඇත