පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන ත්‍රස්තයාගේ පියා සහ සොහොයුරන් මරුට (PHOTOS)

ඉකුත් සිකුරාදා කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගෙන මියගොස් ඇති පුද්ගලයින් අතර සහරාන් හෂීම් ගේ පියා සහ සහෝදරයින් දෙදෙනා ද සිටින බවට රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.

ඉකුත් පාස්කු ඉරිදා මෙරට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාළාවේ ප්‍රධාන සැලසුම්කරු වශයෙන් ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබු ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ගේ පියා වන මොහොමඩ් හෂීම් සහ සොහොයුරන් වන රිල්වාන් හා සායින් හෂීම් මෙලෙස මියගොස් ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.

මෙම රිල්වාන් නැමැත්තා ආරක්ෂක අංශ විසින් සොයමින් සිටිය පුද්ගලයෙක් වන අතර ඔහු මෙරට තුළ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමේ අවධානමක් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ විසින් පසුගියදා අනතුරු අඟවා තිබුනා.

සහරාන් හෂීම් ගේ බිරියගේ සහෝදරයෙක් වන නියාස් ෂරිෆ් විසින් මේ බව රොයිටර් පුවත් සේවයට තහවුරු කර තිබෙනවා.

මෙම පිරිස මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගැනීමට පෙර වීඩියෝවක් ද අන්තර්ජාලයට මුදා හැර තිබුනා.

මෙම සැකකටයුතු නිවස පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ සුදානම් වූ අවස්ථාවේදී ඒ තුල විශාල පිපිරීම් තුනක් සිදුවූ අතර එම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් කුඩා ළමුන් 6 දෙනෙකුද මිය ගියා.