කිලිනොච්චියේ මුස්ලිම් දේවස්ථානයක් අසළින් ටී 56 පතුරම් සහ විද්‍යුත් උපකරණ තොගයක් සොයා ගනී

කිලිනොච්චිය කනගාම්භිකුලම් මුස්ලිම් දේවස්ථානය අසල ගෙවත්තක තිබී  ටී 56 වර්ගයේ පතුරොම්, ජංගම දුරකථන සහ තවත් විද්‍යුත් උපකරණ තොගයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා. යුද හමුදාව විසින් (29) එම  ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අදාළ උපකරණ තොගය හමුවී ඇති අතර පසුව එම උපකරණ කිලිනොච්චිය පොලීසිය වෙත භාර දී  තිබෙනවා.

සොයාගත් උපකරණ අතර අබලි යකඩ ද්‍රව්‍ය සමඟ පතුරොම් 20ක්, ජංගම දුරකථන හයක්, ඩිජිටල් කැමරා දෙකක්, දුරදක්නයක්, හඬ පටිගතකිරීමේ යන්ත‍්‍ර කිහිපයක්, ඉස්ලාමීය ආගමික පොත් හා පුපුරාගිය ආර්. පී. ජී පතුරොමක කොටසක් තිබූ බවයි වාර්තා වන්නේ. එසේම සොයාගත් උපකරණ වෙනත් ස්ථානයක සිට මෙම ස්ථානය වෙත මෑතකදී ගෙනවිත් දමන්නට ඇති බව මූලික පරික්ෂණ වලදී අනාවරනය වී තිබෙනවා.

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි මුස්ලිම් කාන්තාවන් 22 කගේ ජාතික හැදුනුම්පත් තබා ගෙන සිටි 50 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්පිටිය පල්ලිවාසල්තුරේ නිවාස පරීක්ෂාවකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පුද්ගලයාට සිය රැකියාව හෝ  මුස්ලිම් ජාතික කාන්තා හැදුනුම්පත් එක් රැස් කිරීමේ හේතුව නිශ්චිතව පැවසීමට  අපොහොසත් වී තිබෙනවා.