ශ්‍රී ලංකාවේ ප්‍රහාරය සිරියාවේදී තම පරාජයට පළිගැනීමක්..! ISIS ත්‍රස්ත නායකයා කතා කරයි (PHOTOS)

ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වසර 05 කට පසුව වීඩියෝ පටයක් නිකුත් කර ඇති බව ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදෙන අමෙරිකානු අන්තර්ජාල බුද්ධි ඒකකය ප්‍රකාශ කර සිටිනවා. මෙම ත්‍රස්ත නායකයා 2014 වසරට පසුව නිකුත් කරන ලද පළමු වීඩියෝව මෙය වනවා.

ඔහු මෙම වීඩියෝව ඉකුත් අප්‍රේල් මස 18 වෙනිදා රූගත කර ඇති බව වාර්තා වන අතර පසුව ඔහු එම වීඩියෝවට හඬ පටයක් එක් කොට ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන ලද ප්‍රහාරකයින් සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළකර තිබෙනවා.  ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ඉකුත්දා එල්ලවූ ප්‍රහාරය සිරියාවේ Baghouz ප්‍රාන්තයේදී තම කණ්ඩායම ලද පරාජයට පළිගැනීමක් ලෙස ISIS ත්‍රස්ත නායකයා සඳහන් කර සිටිනවා.

ජාත්‍යන්තර නිරීක්ෂකයින් සඳහන් කරන්නේ ISIS ත්‍රස්ත නායකයා ශ්‍රී ලංකාව තුල සිදුවූ බෝම්බ ප්‍රහාරයන් හරහා සිය සංවිධානයට මේ වන විට උදාවී ඇති පසුගාමීත්වය නැති කර ගැනීමේ උත්සහයක ඔහු යෙදී සිටින බවයි.

ඔහු විසින් ශ්‍රී ලංකවට අමතරව මාලි හිදී ප්‍රංශ සාම සාධක හමුදාවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්ද සිය සතුට පළකර ඇති අතර ඉදිරියේදී තම ත්‍රස්ත සංවිධානය අතින් ගිලිහුණු ඉරාකය සහ සිරියාවේ භුමි ප්‍රදේශ තමන් සතුකර ගන්නා බවටද එම වීඩියෝව හරහා ප්‍රකාශ කර ඇත. එමෙන්ම තම සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවිය රටවලට එරෙහිව අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබෙනවා.

සිරියාවේ මොසුල් හිදී අවසන් වරට ISIS ත්‍රස්ත නායකයා  සිදුකරන ලද විදියෝවෙන් අනතුරුව ඔහු පිළිබදව කිසිදු තොරතුරක වාර්තා නොවූ අතර ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටියේ අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය යන්නට ඇති බවයි.