දමා ගිය ජිව උණ්ඩ තොගයක් සොයා ගනී (PHOTOS)

පුත්තලම 4 කණුව, වෙප්පමඩුව, විලුක ප්‍රදේශයේ වැව් ඉස්මත්තේ සැකකටයුතු පාර්සලයක් ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පුත්තලම පොලීසියට සිදු කළ දැනුම්දීමකට අනුව සිදුකල සෝදිසි මෙහෙයුමකදී ගිනි අවි සඳහා යොදා ගන්නා ජිව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි වුණා.

පොලිසිය, ගුවන් හමුදාව සහ යුධ හමුදාව එක්ව ඊයේ (29) රාත්‍රියේ මෙම සෝදිසි කිරීම සිදු කළා. 

මේ අතර අරාබි බසින් ලියන ලද බැනර් 500 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කල්පිටිය, පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම බැනර් තොගය නිවසක සඟවා තිබෙන බවට ලද තොරතුරක් අනුව පොලීසිය සහ නාවික හමුදාව එක්ව කළ වැටලීමකදී සොයාගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

අරාබි රටවල් විසින් මෙරට සිදුකරන ලද විවිධ ප‍්‍රදානයන් සම්බන්ධයෙන් මෙම බැනර්වල සටහන් කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. 

ඉකුත් 27 වැනිදාද කල්පිටිය, නාච්චිකල්ලිය කලපුව ආසන්නයේ තිබී මීට සමාන බැනර් 500 කට වැඩි ප‍්‍රමාණයක්ද පොලීසිය විසින් සොයාගනු ලැබුවා. අදාළ නිවස පරීක්‍ෂා කිරීමේදී එහි සවා තිබූ ගංජා කිලෝ ග‍්‍රෑම් එක හමාරකට අධික ප‍්‍රමාණයක්ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. කල්පිටිය පොලීසිය මගින් වැඩිදුර පරික්‍ෂණ කි‍්‍රයාත්මකයි.