ප්‍රහාර මාලාව සාධාරණීකරනය කළ මිනිමරු මවුලවිවරයා මැදපෙරදිග රටකින් රැකවරණ පතයි

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාව සාධාරණීය කරමින් අන්තර් ජාලයට වීඩියෝවක් නිකුත් කළ මවුලවිවරයා මැදපෙරදිග රටකින් දේශපාලන රැකවරණ පතා ඇති බව වාර්තා වනවා.

වව්නියාව, සෙට්ටිකුලම ප‍්‍රදේශයේ පදිංචි පට්ටානීචූර් මුස්ලිම් පල්ලියේ භාරකාර එන් නව්මාන් නමැති මවුලවිවරයා එම ප‍්‍රකාශය සිදුකර තිබුණේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පසු දිනයි. ලෝකයම ඉස්ලාමීය දේශයක් බවට පත් කර ගැනීම සදහා සිදුකළ ප‍්‍රහාරයට සිය ගෞරවය හා ප‍්‍රණාමය පිරිනමන බව ඔහු ප‍්‍රකාශ කර තිබුණා.

එම ප‍්‍රහාරයෙන් තමන් දැඩි සතුටට හා අමන්දානන්දයට පත්ව සිටින බවත් ලෝකයම ඉස්ලාමීය දේශයක් කරා ගෙනයාමේ සටන ලංකාවේද ආරම්භ වී ඇති බවත් ඔහුගේ ප‍්‍රකාශයේ සදහන්. මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව රැසක් පැමිණිලි කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට ආරක්‍ෂක අංශ මෙහෙයුම් කි‍්‍රයාත්මක කළද ඒ වනවිට ඔහු මක්කම වන්දනාවේ යෑම සදහා දිවයිනෙන් පිටත්ව ගොස් සිටියා.

අදාළ මවුලවිවරයා දිවයිනට පැමිණි පසු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති අතර ගුවන් තොටුපොල ආරක්‍ෂක අංශවලටද ඒ බව දැනුම් දි තිබෙනවා. මෙය සැලවීමෙන් පසු අදාළ මවුලවිවරයා මැදපෙරදිග රටකින් දේශපාලන රැකවරණ පතා ඇති බවයි වාර්තා වුණේ.

මෙම මවුලවිවරයාට වව්නියාවේ මුස්ලිම් දේශපාලනඥයින් තුන් දෙනෙකුගේ සහාය හිමිව ඇති බවත් ඔහු වව්නියාවේ මුස්ලිම් දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ ඥාතියෙකු සහ ආධාරකරුවෙකු වන බවත් වාර්තා වනවා.