අබ්දුල්හක් සොයුරන්ගේ කඩේ තිබුණ හාඩ් ඩිස්ක් එකෙන් අයිඑස් සම්බන්ධය හෙළිවෙයි

බුදු පිළිම කැඩූ සිද්ධියේ සැකකරුවන් ලෙස හඳුනාගෙන තිබූ තවුහිත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින්වූ  අබ්දුල්හක් සොයුරන් දෙදෙනා පසුගියදා අත්අඩංගුවට පත්වූයේ ගම්පොළදීය.
 ඉබියතුරු දැමූ  වෙළඳසැලක් ඇතුළේ සැඟව සිටියදී ඔවුන් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් සම්බන්ධ කරන විමර්ශනයේදී මේ වනවිට වැදගත් තොරතුරු රැසක් හමුව තිබේ.
මෙම වෙළෙඳ සැල පාවහන් වෙළෙඳ සැලක්වූ අතර එහි දෙවන මහලේ සපත්තු මහන මැෂිමක් තුළ සඟවා තිබූ හාර්ඩ් ඩිස්ක් එකක් පිළිබඳ පොලිසිය සිදුකළ විමර්ශනයේදී ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම්ගේ දේශන, මරාගෙන මැරෙන බෝම්බ සැකසීම, යුධ උපකරණ සැකසීම, අයි එස් නායකයින් සිදුකරන දේශන, මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්
පුහුණු කිරීමේ දේශන, මෙරට විහාරස්ථානවල ඡායාරූප, බෞද්ධ ලියවිලි ඉස්ලාම් සංවිධානවල නියෝජිතයින් සිටින ඡායාරූප රැසක්ම ඇතුළත්ව තිබේ.

අයි.එස්. සාමාජිකයින් සිරියාවේ පුහුණුව ලබන වීඩියෝ, මරාගෙන මැරෙන බෝම්බ සැකසීම, යුධ උපකරණ සැකසීම මෙන්ම මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණුකරණ ආකාරය දැක්වෙන වීඩියෝ ඛණ්ඩද එහි තිබී ඇත.
එම වෙළෙඳ සැලේ සැඟව සිටි මොහොමඩ් සාදික් අබ්දුල්හක් සහ මොහොමඞ් ශාහිඩ් අබ්දුල්හක් එකම පවුලේ සොහොයුරන් වන අතර මොවුන් දෙදෙනා මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවලට හානි සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු ද වනවා.
බාල සොහොයුරා වන මොහොමඩ් ශාහිඩ් අබ්දුල්හක් දින 58 ක කාලයක් සිරියාවේ යුද පුහුණුවක් ලබාඇති බවට ද  තොරතුරු අනාවරණ වී ඇත.
දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම තවදුරටත් සිදුවේ.