මගේ කාර්යාලයේ තිබුණු T 56 උණ්ඩ නීත්‍යානුකූලයි…! මම අහිංසකයි…! රටක් වටී..! – හිස්බුල්ලා

තම කාර්යාලයේ තිබී පොලිසිය විසින් (30) සොයාගත් T 56 උණ්ඩ නීත්‍යානුකූලව ලැබුණු ඒවා බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ මෙම උණ්ඩ තමන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන්ට සහ අමාත්‍යාංශ ආරක්ෂක නිලධාරීන්ට කාත්තන්කුඩි පොලිසිය විසින් නිකුත් කළ ඒවා බවයි.

එසේම තම කාර්යාලය පසුපස ඇති, එම ආරක්ෂක නිලධාරීන් භාවිතා කරන කාමරයක තිබී මෙම උණ්ඩ පොලිසියට හමුවී ඇති බවත් සෝදිසි මෙහෙයුමේදී අත් අඩංගුවට ගත් තම කාර්ය මණ්ඩලයේ දෙදෙනාට මෙම උණ්ඩ සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඒ මහතා සිය නිවේදනයෙන් ප්‍රකාශ කරයි.

කාත්තන්කුඩි නගරයේ පිහිටි හිස්බුල්ලා මහතාගේ දේශපාලන කාර්යාලයක තිබී හමුවූ T 56 උණ්ඩ 48ක් සමඟ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් දෙදෙනෙකු කාත්තන්කුඩි පොලිසිය සහ හමුදාව එක්ව ඊයේ කළ සෝදිසි මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන තිබිණි.