ප්‍රභාකරන්ව වන්දනා කළ යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති – ලේකම් අත්අඩංගුවට

යාපනය විශ්ව විද්‍යාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව සහිත පෝස්ටර කිහිපයක් සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් අද (3) අත්අඩංගුවටගත් බව කෝපායි පොලිසිය කියයි.

යුද හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් යාපනය විශ්වවිද්‍යාලයේ කලාපීඨය ඇතුළු පීඨ සහ නේවාසිකාගාරවල සිදුකළ සෝදිසියකදී මෙම පෝස්ටර කිහිපය හමුවී තිබේ.

මෙම සෝදිසි මෙහෙයුම සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නිල සුනඛයින් ද යොදා ගත් බව පොලිසිය පවසයි.

විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේ තිබී මෙම එල්.ටී.ටී.ඊ නායකයාගේ රුව සහිත පෝස්ටර හමුවී ඇති අතර එහි එල්.ටී.ටී.ඊ ප‍්‍රධානියකු වූ ඇන්ටන් බාලසිංහම් නැමැත්තාගේ ද පෝස්ටර කිහිපයක් තිබූ බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ යාපනය මහ ශිෂ්‍ය සංගමයේ සභාපති එන්. දිවාකරන් (24) හා ශිෂ්‍ය සංගමයේ ලේකම් එස්. බදිල්රාජ් (23) යන සිසුන්ය.

සෝදිසි මෙහෙයුමේදී ස්ථාන කිහිපයක තිබී තවත් සැකකටයුතු භාණ්ඩ හා යුද හමුදා සපත්තු (බූට්) කිහිපයක් ද සොයාගත් බව ආරක්ෂක අංශ පැවසූහ.

යාපනය විශ්වවිද්‍යාලය, කිලිනොච්චිය ඉංජිනේරු පීඨය හා වවුනියාව විශ්වවිද්‍යාල මණ්ඩපයේ නේවාසිකාගාර ද ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරීම් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සැකකාර සිසුන් දෙදෙනා යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.