පාලම් පිපිරවීමේ සැලැස්මක්

ඉස්ලාමීය අන්තවාදීන් විසින් කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට සූදානම් වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි බලධාරීහු කියති. පාස්කු ඉරිදා කළ බෝම්බ පිපිරීම් මාලාවට අනුබද්ධ තවත් බොහෝ කුමන්ත‍්‍රණ ඇතැයි ද ඔව්හු අවවාද කරති. 

පොලිස් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස කොළඹ ආසන්නයේ පිහිටි සියලූම පොලිස් ස්ථාන වලට දන්වා ඇති බවත් ගංගා සහ පාලම් ආරක්‍ෂා කරගැනීම සඳහා වැඩි වැඩියෙන් යාත‍්‍රා යොදවන ලෙස නාවික හමුදාවට දැනුම් දී ඇති බවත්ය.

පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී ඇති බුද්ධි තොරතුරු වලින් වාර්තා වන්නේ කොළඹ නගරයට ඇතුළු වන පාලම් කිහිපයක් පුපුරුවා හැරීමට සැලසුම් කර ඇති බවයි.  පාස්කු ඉරිදා කළ ප‍්‍රහාරයෙන් 257 දෙනෙක් මියගිය අතර 500 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 

ජිහාද්වාදීන්ගේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා මැඩ පැවැත්වීම සම්බන්ධීකරණය සඳහා ආරක්‍ෂක හමුදා විසින් ඒකාබද්ධ අණදෙන මූලස්ථානයක් ස්ථාපිත කර තිබේ. මේ අතර යුද හමුදා ප‍්‍රධානීන් පවසන්නේ සෝදිසි මෙහෙයුම් සඳහා වැඩි වැඩියෙන් හමුදා සොල්දාදුවන් යොදවා ඇති බවයි. 

පසුගිය දින කිහිපයේදීම විශේෂ සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක කළ ආරක්‍ෂක හමුදා දිවයිනේ ස්ථාන රැසකින්ම පුපුරණ ද්‍රව්‍ය මෙන්ම අවිආයුධ රැසක් අත්අඩංගුවට ගත්හ. එහෙත් නිල වාර්තා වලින් කියැවෙන්නේ මෙම ආයුධ අපරාධ අල්ලි වලට අයත් නමුත් ජිහාද්වරුන්ගේ ඒවා නොවන බවකි.