දිවයින පුරා සෝදිසි මෙහෙයුම් අදත් – බෝම්බ, අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය කිලෝ ගණනින් හමුවේ

මන්නාරම, ශාන්තිපුරම් ප‍්‍රදේශයේ කැළෑබද ස්ථානයක තිබී සී ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සොයාගෙන තිබෙනවා. 

එම ස්ථානයේ තිබී කාලවිරාම පරිපථ 6 ක් ද සොයා ගැණුනු බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ. අදාළ පුපුරණ ද්‍රව්‍ය හා කාලවිරාම පරිපථ එම ස්ථානයේදීම විනාශ කිරීමට කටයුතු කළ බවද විශේෂ කාර්ය බලකාය පැවසුවා.

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදි ගිනිඅවි සමග සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. 

ගිනි අවියක්, වායු පිස්තෝල දෙකක් සහ වායු රයිෆලයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුගස්තොට ප‍්‍රදේශයේදීයි. කටුගස්තොට ශී‍්‍ර රාහුල විදුහල් කී‍්‍රඩාංගණය අසල මාර්ග බාධකයේදී මෝටර් රථයක් පරීක්‍ෂා කිරීමේදී එම ආයුද සොයාගෙන තිබෙනවා.  

නාත්තන්ඩිය ප‍්‍රදේශයේ නිවසක තිබී පිස්තෝලයක් හා රිවෝල්වරයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය සමත් වුණා. මීගහතැන්න, ගොරකඳූව ප‍්‍රදේශයේදී  රිවෝල්වරයක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කළුතර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය සිදුකළ වැටලීමකදීයි.