සහරාන්ගේ කල්ලිය පුහුණුව ලැබූ තැන් ගැන තොරතුරු

පාස්කු ඉරිදා ඉලක්ක කර එල්ල කෙරුණු ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් ඉන්දියාවේ කේරළ සහ කාශ්මීර ප‍්‍රදේශවලට පැමිණ ත‍්‍රස්ත කටයුතු පිළිබඳ පුහුණුව ලබා ඇතැයි විශ්වාස කළ හැකි බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක පවසනවා.

යුද හමුදාපතිවරයා විදෙස් මාධ්‍යයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පවසන්නේ අදාළ බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් ඉන්දියාවට ද පැමිණ ඇති බවට ශ‍්‍රී ලංකාවේ ඉහළ පෙළේ රාජ්‍ය නියෝජිතයෙකු විසින් ප‍්‍රකාශ කෙරුණු පළමු අවස්ථාව මෙය බවයි. 

බුද්ධී අංශ වෙත ලැබී ඇති තොරතුරු අනුව පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වගකිවයුතු ත‍්‍රස්තවාදීන් ඉන්දියාවට පැමිණ පසුව බැංගලෝරයේ, කාශ්මීරයේ සහ කේරළයේ විවිධ ත‍්‍රස්ත පුහුණුවීම් කටයුතුවල නිතර වී තිබෙනවා.

මේ අතර ඉන්දීය ආරක්ෂක නිලධාරීන් පවසන්නේ අයි. එස්. ත‍්‍රස්තවාදීන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා තමන් සවුදි අරාබියානු නිලධාරීන් සමග සම්බන්ධව සිටින බවයි. කේරළ සහ කොයිම්බතූර් යන ප‍්‍රදේශවල ද ජාතික තවුහිද් ජමාද් සංවිධානය් කි‍්‍රයාකාරකම් පවතින බවටයි ඉන්දීය ආරක්ෂක අංශ පවසන්නේ. 

කෙසේවෙතත් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ ඉන්දීය ගමන්වල අරමුණු සහ ඔහු සබඳතා පැවැත්වූ පුද්ගලයින්ගේ නම් ගම් හෙළි කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ අකැමැත්ත පළ කර තිබෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සහ ඉන්දියාවේ ඇතැම් පුද්ගලයින් අතර සම්බන්ධයක් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.