පාසල් ආරම්භ වේ

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් කල් දැමුණු මේ වසරේ දෙවන පාසල් වාරය අද (06) ආරම්භ වුණා.

ඒ, ති‍්‍රවිධ හමුදාව සහ පොලීසියේ විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේයි. අදියර දෙකක් යටතේ පාසල් ආරම්භ කිරීම සිදු වනවා. ඒ යටතේ අද පාසල් ආරම්භ කෙරෙන්නේ 6 වන ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහායි. 

කෙසේවෙතත් රටේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් පාසල් ආරම්භය කල් දමන්නැයි විවිධ පාර්ශ්ව ඊයේ (05) දිනයේද ඉල්ලීම් සිදුකළා. එහෙත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප‍්‍රකාශ කළේ පාසල් ආරම්භ කිරීම සඳහා සුදුසු ආරක්ෂක වටපිටාවක් දැනටමත් සකස්කර අවසන් බවයි. ඒ හේතුවෙන් කිසිදු බියකින් තොරව පාසල් වෙත පැමිණෙන ලෙසටයි අමාත්‍යවරයා නෙත් නිවුස් හරහා දැනුම් දෙන්නේ.

අද දිනයේ පාසල වෙත පැමිණෙන විට අත්‍යාවශ්‍ය පොත්පත් සහ පාසල් උපකරණ පමණක් රැගෙන එන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදි සියලු පාසල් දරු දැරියන්ට දැනුම් දීමක්ද සිදු කළා.

අද දිනයේ කොළඹ පාසල්වල ආරක්ෂාව සඳහා ගුවන් හමුදා සාමාජිකයින් ද සිය දායකත්වය ලබා දෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න ප‍්‍රකාශ කළා. 

යුද හමුදාව සහ නාවික හමුදාව ද පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය ද පාසල්වල ආරක්ෂාව සඳහා අනුයුක්ත කිරීමටයි තීරණය කර ඇත්තේ.