හයිස්පීඞ් දඩ ඉහළට – වේගය අනුව වෙනස්

රථවාහන වැරදි කිහිපයකට අදාළ දඩ මුදල ඉහළ දැමෙන මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මෙම පනත් කෙටුම්පතට අනුව සැහැල්ලූ වාහනයක් ධාවනය කළ හැක්කේ වයස අවුරුදු දහ අට සම්පූර්ණ කළ තැනැත්තකු පමණි. බර වාහනයක් ධාවනය කළ හැක්කේ වයස අවුරුදු විසි එක සම්පූර්ණ කළ අයකු පමණි. නීතිය පළමුවරට කඩ කළහොත් රුපියල් විසිපන්දහසත් තිස් දහසත් අතර දඩයකට යටත්වේ. මෙතෙක් පැවතියේ රුපියල් තුන්දහසත් හයදහසත් අතර දඩයකි. දෙවැනි වර හෝ පසු අවස්ථාවක මෙම වරද සිදු කළොත් රුපියල් තිස්දහසත් පනස් දහසත් අතර දඩයකට යටත් වෙයි.

අධික වේගයෙන් රිය පැදවීමේ වරද යටතේ වේග සීමාව සියයට විස්ස දක්වා ඉක්මවන්නේ නම් රුපියල් තුන්දහසත් රුපියල් පන්දහසත් අතර දඩයකට යටත්වේ. වේග සීමාව සියයට විස්සේ සිට සියයට තිහ දක්වා පවතින අවස්ථාවකදී දඩය රුපියල් පන් දහසත් දස දහසත් අතරය. වේග සීමාව සියයට තිහත් සියයට පනහත් අතර නම් දඩය රුපියල් දස දහසත් රුපියල් පහළොස් දහසත් අතරය. වේගය සියයට පනහ ඉක්මවන්නේ නම් දඩ මුදල රුපියල් පහළොස් දහසත් විසිපන් දහසත් අතරය. මෙම වැරදි කරන අයකුට ස්ථානීය දඩ නියම කිරීමේ බලය ද පොලිසියට ඇත.

දුම්රිය ගේට්ටු වසා ඇති විටෙක, දුම්රිය සංඥා පද්ධති නොසලකා හරිමින් හෝ බලයලත් නිලධාරියකුගේ විධානයට කීකරු නොවෙමින් දුම්රිය හරස් මාර්ගය මත හෝ ඒ හරහා මෝටර් වාහනයක් පැදවූවොත් රුපියල් විසිපන්දහසත් පනස් දහසත් අතර දඩයකට යටත් වෙයි.

දෙවන වරට එම වරද කළොත් රුපියල් තිස් දහසත් හතළිස් දහසත් අතර දඩයකට යටත් වේ. ඒ සමග මාස හයකට නොවැඩි කාලයක් සඳහා රියැදුරු බලපත‍්‍රය අත්හිටුවනු ලබයි. තුුන්වන වර හා ඉන් පසුව එම වරද කළොත් රුපියල් හතළිස් දහසත් රුපියල් පනස් දහසත් අතර දඩයක් සහ රියැදුරු බලපත‍්‍රය වසරක් අත්හිටුවීමේ දඬුවමට යටත්වේ.

රිය ධාවනය කරද්දී ජංගම දුරකථනය භාවිත කිරීමේ වරදට රුපියල් දෙදහස් පන්සියයක් සහ රුපියල් තුන්දහස් පන්සියයක් අතර දඩයක් ද, දෙවැනි වර එම වරද කළහොත් රුපියල් තුන්දහස් පන්සියයත් පන්දහසත් අතර දඩයක් ද ඉන්පසු අවස්ථාවලදී එම වරද කළොත් රුපියල් පන්දහසේ සිට රුපියල් විසිපන්දහසක් අතර දඩයක් ද නියම වේ. එමෙන්ම විමෝචන සහතිකය සහ යෝග්‍යතා සහතිකය නොමැතිව ධාවනය කර වරදකරු වන අයට ද ඉහත දඩය අදාළවේ.

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමේ වරදට අදාළ දඩය ද ඉහළ දමා ඇත. රුපියල් විසිපන්දහසත් තිස්දහසත් අතර දඩයක් හෝ මාස තුනක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකටම අදාළව වරදකරු යටත් වෙයි. ඔහුගේ රියැදුරු බලපත‍්‍රය වසරකට අත්හිටුවනු ලැබේ.

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවා මරණය සිදු කළහොත් හෝ තුවාලයක් සිදුකළහොත් දඩය රුපියල් ලක්‍ෂයත්, ලක්‍ෂ එකහමාරත් අතරය. අවුරුදු දෙකත් අවුරුදු දහයත් අතර සිර දඩුවමකට ද යටත්ය. රියැදුරු බලපත‍්‍රය අවලංගුවේ.

රක්‍ෂණ සහතිකය නොමැතිව රිය ධාවනය කළොත් දඩය රුපියල් විසිපන්දහසත් රුපියල් පනස් දහසත් අතරය. එක් මසක සිර දඬුවමකි.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනක පැවැත්වීමට නියමිතය.