ශරියා විශ්ව විද්‍යාලය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙසින් ඉදිරියට….!

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර M.L.A.M හිස්බුල්ලා විසින් මඩකලපුවේ ආරම්භ කළ ශරියා විශ්වවිද්‍යාලය පසුගිය දිනවල රටේ දැඩි කතාබහට ලක්වුනා.

අරාබි ගෘහ නිර්මාණ සැලසුම් වලට අනුව අතිශය විශාල ධනස්කන්දයක් වැය කරමින්, විදෙස් සිසුන් පවා ශ්‍රී ලංකාවට ගෙන්වා නවාතැන් දී ඉගැන්වීම් කළ හැකි අයුරින් මෙම විශ්ව විද්‍යාලය ඉදිකර තිබේ. ප්‍රධාන වශයෙන් මෙම විශ්ව විද්‍යාලයේ අරාබි භාෂාව, ශරියා නීතිය, වහබ්වාදය ඇතුලු ඉස්ලාම් අන්තවාදී ඉගැන්වීම් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවද හෙළිව තිබේ.

ඒ හේතුවෙන් මෙම ශරියා විශ්ව විද්‍යාලය තහනම් කිරීම ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ යුතු ප්‍රමුඛ ක්‍රියාවක් බවට පසුගිය දිනවල සමාජයෙන් විශාල බලපෑමක් එල්ල වූවා.

කෙසේ වෙතත් මෙවැනි පසුබිමක මඩකලපුවේ ආරම්භ කළ ශරියා විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (8 වැනිදා) පැවසූවා.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසූවේ පසුගිය දින ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන් හා ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් ඇති වූ කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමිනි.

එසේම එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක්ද ගනු ලබන බව ජනාධිපතිවරයා සඳහන් කළා.