ත්‍රස්තවාදය විනාශ කර සාමකාමී රටක් ගොඩනගන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ත්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත්‍රස්තවාදය අවසන් කර යහපත් සාමකාමී රටක් ගොඩනැගීමේ වගකීම අවංකව ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංවර්ධන වැඩසටහන් මාලාවේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනේ අවසන් ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින්. 

ජාතික ආරක්ෂාව කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් රට වෙනුවෙන් තම දෛනික කාර්යයන් නිසි ලෙස ඉටු කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ. 

“රට වෙනුවෙන් එකට සිටිමු” සංවර්ධන වැඩසටහන් මාලාවේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනේ අවසන් ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වුණේ උහන මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදීයි.